කෙටිදුර ආධිපත්‍ය Elaine සතු වෙද්දී පිහිනුම් ක්‍රීඩාවෙන් තවත් වාර්තා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

247

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනය ඊයේ (3) නිමාවට පත් වුනා. යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව ලෝකඩ සහ රිදි පදක්කම් දිනා දෙද්දී, ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිය අවසන් මහා තරගවල දී වාර්තා අලුත් කරමින් පදක්කම් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

පිහිනුම්

නව තරගාවලි වාර්තාවක් සමඟින් පිරිමි 200m Medley ඉසව්ව ජය ගන්නට ස්කොට්ලන්තයේ Duncan Scott සමත් වුනා. ඔහු ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය මිනිත්තු 1:56.88ක්.  එංගලන්තයේ Tom Dean එම ඉසව්වේ රිදී පදක්කමත්, නවසීලන්තයේ Lewis Clareburt එම ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

කාන්තා මීටර් 50 පසුපස ආර ඉසව්වේ දී තවත් තරගාවලි වාර්තාවක් බිඳ වැටුණා. Kylie Masse එම ඉසව්ව අවසන් කළේ තත්පර 27.31ක් පමණක් වැය කරමිනුයි. ඕස්ට්‍රේලියාවේ Mollie O’callaghan රිදී පදක්කම දිනා ගනිද්දී ඕස්ට්‍රේලියාවේම Kaylee Mckeown ලෝකඩ පදක්කම දිනා ගත්තා.

මේ අතර කාන්තා මීටර් 400 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියාවේ Ariarne Titmus සමත් වුනා. ඇය ඒ සඳහා වැය කළ කාලය මිනිත්තු 3:58.06ක් ලෙස දැක්වුණේ නව තරගාවලි වාර්තාවක් ලෙසයි. රිදී පදක්කම කැනඩාවේ Summer McIntosh දිනා ගද්දී ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවේ Kiah Melverton විසින් දිනා ගත්තා.

ප්‍රබල ඕස්ට්‍රේලියාව පරාජය කරමින් එංගලන්ත පිහිනුම් ක්‍රීඩකයෝ පිරිමි මීටර් 100×4 Medley සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයින් වූයේ Brodie Paul Williams, James Wilby, James Guy හා Tom Dean. රිදී පදක්කම ඕස්ට්‍රේලියාවත්, ලෝකඩ පදක්කම ස්කොට්ලන්තයත් විසින් දිනා ගත්තා.

මලල ක්‍රීඩා

පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට නවසීලන්තයේ Hamish Kerr සමත් වුනා. ඔහු ඒ සඳහා දැක්වූ දක්ෂතාවය මීටර් 2.25ක්. රිදී පදක්කම ඕස්ට්‍රේලියාවේ Brandon Starc විසින් දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම හිමි වුනේ ඉන්දියාවේ Tejaswin Shankar හටයි.

කාන්තා මීටර් 10,000 ඉසව්වේ දී ප්‍රේක්ෂකයින්ට සුපිරි ධාවන තරගයක් දැක බලා ගන්නට හැකියාව ලැබුණා. ස්කොට්ලන්තයේ Eilish McColgan මිනිත්තු 30:48.60කින් ඉසව්ව අවසන් කළේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවමිනුයි.

මෙවර තරග වාරයේ සිය හොඳම කාලයන් වාර්තා කරමින් කෙන්යාවේ Irine Chepet Cheptai හා Sheila Chepkirui Kiprotich රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තා.

ජැමෙයිකානු සුපිරි කෙටිධුර ධාවන ශූරි Elaine Thompson-Herah කාන්තා මීටර් 100 රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඇය ඒ සඳහා ගත කළ කාලය තත්පර10.95ක්. සාන්ත ලුසියා හි Julien Alfred විසින් රිදී පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේ Daryll Neita ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් වුනා.

ක්‍රිකට්

පාකිස්තානය ලකුණු 44කින් පරාජය කරන්නට ඕස්ට්‍රේලියාව සමත් වුනා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 160ක් රැස් කළා. පිළිතුරු ඉනිමේ දී පාකිස්තානයට රැස් කර ගැනීම හැකි වුනේ කඩුලු 8ක් දැවී ලකුණු 116ක් පමණයි.

ඉන්දියාව හා බාබඩෝස් අතර තරගය ලකුණු 100කින් ජය ගත්තේ ඉන්දියාවයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 4කට ලකුණු 162ක් රැස් කරද්දී, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බාබඩෝස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ රැස් කරගන්නට හැකි වුනේ ලකුණු 62ක් පමණයි.

බර ඉසිලීම

කාන්තා 87kg+ බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට එංගලන්තයේ Emily Campbell සමත් වුනා. ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය මෙන්ම නව තරගාවලි වාර්තා ද සමඟයි. Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 124ක්, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 162ක් හා මුළු බර ලෙස කිලෝග්‍රෑම් 286ක් ඔසවමින් ඇය මේ වාර්තා පිහිටුවා තිබුණා.

පිරිමි 109kg+ බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට පාකිස්තානයේ Muhammad Nooh සමත් වුනා. Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 173ක්, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 232ක් හා මුළු බර 405ක් ඔසවමින් ඔහු තරගාවලි වාර්තාවක් ද පිහිටුවන්නට ඔහු සමත් වුනා.

මේ වන විට පදක්කම් සටහන දිස්වන්නේ මෙලෙසින්

ක්‍රීඩා උළෙලේ 6 වැනි දිනය අදයි. මලල ක්‍රීඩා කිමිදුම් ඇතුළු ඉසව් කිහිපයකම අවසන් තරග අද (4) පැවැත්වීමට නියමිතයි. 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

 >> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<