කොළඹ තුරඟ තරග පිටිය දෙවනත් කරමින් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන මහා තරගය සඳහා අද (30) වසර ගණනක ඉතිහාසගත ප්‍රතිවාදීන් වූ සාන්තුවරයින් සටන් වැදුණු අතර වත්මන් මයිලෝ කුසලාන ශූරයින් වන මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් ලීග් ශූරතාවයේ දී ලද පරාජයේ පළිය ද ගනිමින් ලකුණු 20-22ක් ලෙස 2018 වසරේ මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ කුසලානයේ පහස විඳින්නට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝසප් මෙහෙයුමෙන් කිංග්ස්වුඩ් බලාපොරොත්තු බිඳ වැටේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (23) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්විය.

පළමු අර්ධයේ ලකුණු 17-05 ක් ලෙස තරගය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගෙන සිටින්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනත්, දෙවන අර්ධයේ සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූ සාන්ත පීතර ක්‍රීඩකයෝ ලකුණු දෙකකින් ජයග්‍රහණය, මරදානෙන් උදුරා ගෙන බම්බලපිටියට ගෙන යාමට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලයට කහ කාඩ්පත් දෙකක් හිමි වූ අතර ඒ අවස්ථා දෙකම මනා ලෙස ප්‍රයෝජනය ගත් සුපිරි සාන්ත පීතර ඉදිරිපෙළ ලකුණු රැස් කරද්දී, අවශ්‍යම මොහොතේ සුපිරි පා පහරක් මගින් ලකුණු රැස් කළ කෙනෙත් විමලදාස සාන්ත පීතරයින්ට ජයග්‍රහණය හිමි කර දීමට සමත් විය.       

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් මහා තරගයට පිවිසෙද්දී, සාන්ත පීතර විද්‍යාලය අවසාන මහා තරගයට පිවිසුණේ කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජය කරමිනි.

පළමු මිනිත්තු 10 ඉතාමත්ම උණුසුම් කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පන්දුව ග්‍රහණය කර ගත් පළමු තත්පරයේ සිටම සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සාන්ත පීතර ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වූහ.

2 වැනි මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සංතුෂ් අල්ගම සාන්ත ජෝසප් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ නමුත් 5 වැනි මිනිත්තුවේ දී ලද එවැනිම අවස්ථාවකින් ලකුණු රැස් කිරීමට ඔහු අසමත් විය. (සාන්ත ජෝසප් 03-00 සාන්ත පීතර)

නැවත වරක් ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ අංක අට ක්‍රීඩක තරිඳු ද අල්විස් 6 වන මිනිත්තුවේ දී ‘scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන ධවල රේඛාව තනිවම තරණය කළේ සාන්ත ජෝසප් විද්‍යාලයට ආරම්භයේම නොසිතූ වාසියක් ලබා දෙමිනි. සංතුෂ් අල්ගම අලංකාර ලෙස එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත ජෝසප් 10-00 සාන්ත පීතර)

10 වැනි මිනිත්තුවේ දී විනිසුරු විසින් තරිඳු ද අල්විස්ට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවතට යැව්වේ සාන්ත පීතර ක්‍රීඩකයින්ට අමතර වාසියක් හිමි කර දෙමිනි. කාලයේ වටිනාකම මැනවින් වටහා ගෙන සිටි සාන්ත පීතර ක්‍රීඩකයෝ ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වූ අතර පළමු අවස්ථාවේ පන්දුව ‘held up’ අවස්ථාවකට ලක් වුනත්, දෙවන උත්සාහයේ දී ජූලියන් චාල්ස් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ සාන්ත පීතරයින් නැවත තරගයට රැගෙන එමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වුනේ නැත. (සාන්ත ජෝසප් 10-05 සාන්ත පීතර)

මහනුවර නායක වීරරත්නත් පැරිස් යන සංචිතයට

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා නවකයින් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි…

සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පළමු වතාවට පන්දුව සිය පසුපෙළට ලබා දුන් අතර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු පන්දුව ලබා ගත් ගැමුණු චේතිය සිය වේගවත් පාද යොදා ගනිමින් විශිෂ්ට ලෙස ස‍ාන්ත පීතර ආරක්ෂා වළල්ල බිඳ දැමුවේ දෙවන සාන්ත ජෝසප් උත්සාහක දිනුම වාර්තා කරමිනි. සංතුෂ් අල්ගම ඉතා පහසුවෙන් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (සාන්ත ජෝසප් 17-05 සාන්ත පීතර)

ලැබුණු දඬුවම් පහර අවස්ථාවලින් බොහොමයක් ලකුණු බවට පරිවර්තනය කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් උත්සහ දැරූ අතර 21 වන මිනිත්තුවේ දී අපහසු කෝණයකින් ලැබුණු දඬුවම් පහරක් සඳහා සංතුෂ් අල්ගම උත්සහ කළ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

32 වන මිනිත්තුවේ දී නැවත වරක් ආක්‍රමණයේ යෙදුණු සාන්ත ජෝසප් ක්‍රීඩකයින් මෙවර සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් මගින් ධවල සීමාව ඉක්මවා යාමට උත්සහ කළ නමුත් පන්දුව ‘held up’ වීම නිසා එම අවස්ථාව ඔවුන්ට අහිමි වූ අතර සිය දෙවන උත්සාහයේ දී පන්දුව පසුපෙළට ලබා දී නැවත ගැමුණු චේතිය මගින් පිටත සීමාවේ ආසන්නයෙන් උත්සාහක දිනුමක් කරා යෑමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් උත්සහ කළත්, මෙවර අවධානයෙන් සිටි සාන්ත පීතරයින් චේතිය පිටියෙන් ඉවතට තල්ලු කර දැමීය. අනතුරුව 35 වන මිනිත්තුවේ දී සිය ඉදිරිපෙළ පෙළ යොදා ගනිමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් නැවත වරක් ආක්‍රමණයේ යෙදුනත්, කෙටි කාල සීමාවක් ඇතුලත තෙවන වතාවටත් සාන්ත ජෝසප් උත්සාහය ව්‍යර්ථ කිරීමට අධිෂ්ඨානශීලී සාන්ත පීතර ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 05 – 17 සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධයේ දී තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමට දැවැන්ත සාන්ත පීතර ඉදිරිපෙළ හා තීක්ෂණ නුවණකින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ සාන්ත පීතර පසුපෙළ සමත් වූ අතර දෙවන අර්ධයේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු රැස්කර ගැනීමට සමත් වූයේ එක දඬුවම් පහරකින් පමණි.

දෙවන අර්ධයේ පළමු මිනිත්තු කිහිපය තුල කණ්ඩායම් දෙකම විවිධ අතපසු කිරීම් කිහිපයක් සිදු කළ අතර 40 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් පහසුවෙන් ගෝල කණු අතරින් යවමින් දෙවන අර්ධයේ ද ආරම්භක ලකුණු සාන්ත ජෝසප් ලකුණු පුවරුවට එක් කරන්නට සංතුෂ් අල්ගම සමත් විය. (සාන්ත ජෝසප් 20-05 සාන්ත පීතර)

තමන්ගේ දෑතෙන් ගිලිහි යන තරගය නැවත සියතට ගන්නට සාන්ත පීතර ක්‍රීඩකයින් ප්‍රබල තරගයක් දුන් අතර කාලච්ඡේද 12ක් පමණ පන්දුව සියතේ තබා ගත් සාන්ත පීතරයෝ ෂෙනොල් සිල්වාගේ සුරතින් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ නැවතත් තරගයට පිවිසෙමිනි. කෙනෙත් විමලදාස දිනයේ දෙවන වරටත් අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (සාන්ත ජෝසප් 20-10 සාන්ත පීතර)

සාන්ත ජෝසප් හමුවේ මලියදේවය පරාජය වේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අද (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී කුරුණෑගල මලියදේව…

දිගින් දිගටම කළ වරදක් නිසා 49 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ක්‍රීඩක ශෙවෝන් ග්‍රෙගරි හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියාත්මක වූ අතර ක්ෂණිකව අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ජූලියන් චාල්ස් ප්‍රමුඛ සාන්ත පීතර ඉදිරිපෙළ 50 වන මිනිත්තුවේ තවත් උත්සාහයක් වාර්තා කළේ ලකුණු පරතරය ලකුණු 5ක් දක්වා අඩුකර ගනිමිනි. කෙනෙත් විමලදාසගේ ප්‍රවර්තනය ගෝල කණු අතරින් ගමන් කළේ නැත. (සාන්ත ජෝසප් 20-15 සාන්ත පීතර)

අනතුරුව කණ්ඩායම් දෙකම අවසන් මිනිත්තු 15 දී තියුණු තරගයකට අවතීර්ණ වූ අතර මිනිත්තු කිහිපයක ප්‍රබල උත්සාහයකට පසු සාන්ත පීතරයින්ට සාන්ත ජෝසප් සීමාව අසලම ‘line out’ අවස්ථාවක් හිමිවුනත්,  එම අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ වෙතත් 60 වන මිනිත්තුවේ දී ලද දඬුවම් අවස්ථාවක් පිටියෙන් ඉවතට යොමු කළ ඔවුන් මෙවර නම් සාර්ථකව ‘line out’ අවස්ථාව ලබා ගත් අතර ජේසන් කරුණාරත්නගේ නුවණක්කාර පන්දු යොමු කිරීමක් කෙනෙත් විමලදාස විසින් අලංකාර උත්සාහක දිනුමක් බවට පත්කළේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට සිතාගන්නටවත් අවකාශයක් ඉතිරි නොකරමින්ය. ඉතා අපහසු ප්‍රවර්තනයක් අලංකාර ලෙස ගෝල කණු අතරින් යැවීමට කෙනෙත් සමත් වූයේ අවශ්‍යම මොහොතක අමතර ලකුණු එකතු කරමින් සාන්ත පීතර විද්‍යාලයට ජය හිමි කර දෙමින් බව ඔහු දැන සිටියේ නැත. (සාන්ත ජෝසප් 20-22 සාන්ත පීතර)

අවසාන මිනිත්තු පහේ දී කණ්ඩායම් දෙකම ප්‍රබල තරගයකට අවතීර්ණ වූ අතර පන්දුව සියතේම තබා ගනිමින් ප්‍රබල උත්සාහයක නිරත වුනත් සාන්ත පීතර ක්‍රීඩකයින්ගෙන් 2018 මයිලෝ ජනාධිපති කුසලානය උදුරා ගන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූයේ නැත.           

අවසාන ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 20 (2T,2P,2C) – 22 (4T,1C) සාන්ත පීතර විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා – කෙනෙත් විමලදාස (සාන්ත පීතර)

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් විද්‍යාලය  – සංතුෂ් අල්ගම (2P,2C), තරිඳු ද අල්විස් (1T), ගැමුණු චේතිය (1T)
  • සාන්ත පීතර විද්‍යාලය – ජූලියන් චාල්ස් (2C), කෙනෙත් විමලදාස (1T,1C), ෂෙනොල් සිල්වාගේ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<