මේජර් චන්දිමාල්ගෙන් වේගවත් සහ නොදැවුණු අර්ධ ශතකයක්

යුද හමුදා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020

437

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක අද (11) කළුතර දොඹගොඩ දී ක්‍රියාත්මක වූ අතර එහි දී එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වූ නමුත් අනෙක් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලබා ගැනීමට ප්‍රීමා Eastern Warriors සමත් විය.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ Southern Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායම්. එම තරගය මේ මස 17 වැනිදා අනුරාධපුර අලුතින් ඉදි කරන ලද සාලියපුර යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත.

ඩිමෝ Southern Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors

කාසියේ වාසිය දිනා ගත් Southern Warriors පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

Southern Warriors ඉනිමේ පන්දුවාර 15ක් අවසානයේ දී දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙන් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ නිසා තරග තීරකවරුන් දෙපිලටම සම ප්‍රසාද ලකුණු ලබා දෙමින් තරගය අවසන් කරන ලදි.

ඒ වන විට Southern Warriors පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් වාර්තා කරගෙන සිටි අතර චන්දිමාල් 4 පහර 5ක් සහ 6 පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 53*ක් ලබාගත්තේ පන්දු 42ක් තුලයි. එය මෙවර තරගාවලිය තුල චන්දිමාල් විසින් ලබා ගත් තෙවැනි අර්ධ ශතකය වන අතර ඔහු තරගාවලියේ අවසන් මහා තරගයට අවතීර්ණ වන්නේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා (ලකුණු 269) ලෙසිනි.

චන්දිමාල් සමඟින් වේගවත් ආරම්භයක් ලබා ගත් ප්‍රියන්ත රත්නායක මෙවර තරගාවලියේ සාර්ථක ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඔවුන් බවට තවදුරටත් සනාථ කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 26ක් තුලයි. 

තවද තරගාවලියේ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 50 සීමාව අභිබවා ලකුණු වාර්තා කරගත් තුන්වැනි අවස්ථාව මෙය විය. 4 පහර 4ක් සහ 6 පහර දෙකක් සමඟින් පන්දු 14ක දී වාර්තා වුනු රත්නායකගේ ඉනිම ලකුණු 34කට සීමා විය.

පන්දු යැවීමේ දී Northern Warriors නායක සීකුගේ ප්‍රසන්න ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තේ එක් නිලකුණු පන්දුවාරයක් ද ක්‍රියාත්මක කරමිනි.

ඩිමෝ Southern Warriors – 130/4 (15): දිනේෂ් චන්දිමාල් 53*, ප්‍රියන්ත රත්නායක 34, සීකුගේ ප්‍රසන්න 2/19.

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

තවත් ක්‍රිකට් පුවත්

ප්‍රීමා Eastern Warriors සහ මෙල්බන් Western Warriors

වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසාවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 16කට සීමා කිරීමට තරග තීරකවරුන් කටයුතු කළා. කාසියේ වාසිය දිනා ගත් අසේල ගුණරත්න පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 131ක් ලබා ගන්නා ලදි.

පසුගිය තරගයේ දී ශතකයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ද ලකුණු 44ක් ලබා ගනිමින් නොකඩවා දෙවන වරටත් Eastern Warriors කණ්ඩායමේ තරගයක් තුල වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත් විය. පන්දු 23ක දී වාර්තා වුනු මෙන්ඩිස්ගේ එම ඉනිම සඳහා  4 පහර 4ක් සහ 6 පහර තුනක් ඇතුළත් විය. සඳුන් වීරක්කොඩි ලකුණු 30යි.

ලකුණු 132ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Western Warriors කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ හට හැරෙන්නට අනෙක් පිතිකරුවන් හට එතරම්ම සාර්ථක වීමට නොහැකි විය. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන සංජීව් කුමාරස්වාමි ලකුණු 23කට කඩුලු 3ක් දවාලමින් Western Warriors තරගාවලියේ අවසන් මහා තරගයට යාමට තිබූ මඟ අහුරා දමන ලදි.

ප්‍රීමා Eastern Warriors – 131/6 (16): කුසල් මෙන්ඩිස් 44, සඳුන් වීරක්කොඩි 30, යශෝද මෙන්ඩිස් 3/26

මෙල්බන් Western Warriors – 124/8 (16): ලක්ෂාන් එදිරිසිංහ 37, සංජීව් කුමාරස්වාමි 3/23.

ප්‍රීමා Eastern Warriors කණ්ඩායමට ලකුණු 7ක තියුණු ජයක්.

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන.

Teams Mat Won Lost Tied N/R Net RR: Pts
Dimo Southern Warriors 6 3 2 0 1 -0.279 14
Super Fashion Northern Warriors 6 3 2 0 1 -0.825 14
Melbn Western Warriors 6 3 3 0 0 0.989 12
Prima Stella Eastern Warriors 6 2 4 0 0 -0.072 8

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<