කොළඹ උතුර අපරාජිතවම අභිනව ශූරතාවයට

වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

264

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පළමු වතාවට පවත්වන ලද වයස අවුරුදු 17න් පහළ සුපිරි පළාත් යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙසින් කිරුළු පැලඳීමට කවිඳු අමමෙත්ගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායම අද (29) සමත් වුනා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 283ක් ලබා ගැනීමට සමත් වුනා.

එය හඹා යෑමේ දී දක්ෂ පිතිකරණයක නියැලුණු මහනුවර පිතිකරුවන්ට පන්දුවාර 48කුත් පන්දු 3ක් අවසානයේ දී රැස් කර ගත හැකි වූයේ ලකුණු 264ක් පමණයි. ඒ අනුව කොළඹ උතුර කණ්ඩායම මේ තරගය ලකුණු 19කින් ජය ගන්නට සමත් වුනා.

>>VOTE NOW – ThePapare Most Popular Schoolboy Cricketer 2022<<

ආරම්භයේ දී කොළඹ උතුරු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට මහනුවර පන්දු යවන්නන් සමත් වුවත්, ඔවුන් පීඩනය කළමනාකරණ කර ගනිමින් ලකුණු රැස් කිරීම කැපී පෙනුණා.

ලකුණු 60ක් ඇතුළත පළමු කඩුලු 4ම බිද වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටිය දී, පස්වැනි කඩුල්ලට එක් වුණු කවිඳු අමමෙත් සහ සමිදු මදුරංග පන්දු 86ක දී ලකුණු 91ක සබඳතාවයක් පවත්වමින් ලකුණු 280කට ආසන්න ලකුණු සංඛ්‍යාවකට මූලික අඩිතාලම එක් කළා.

එහි දී කැපී පෙනුණු ආරම්භක පිතිකරු කවිඳු අමමෙත් පන්දු 100ක දී ලකුණු 82ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් කර ගත් ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 151ක්ව තිබිය දී පිටියෙන් ඉවත් කිරීමට අකිල වික්‍රමසිංහ සමත් වුනා.

මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි සමිදු මදුරංග සහ කූජන පෙරේරා ලකුණු පුවරුව වේගවත් කරමින් පිළිවෙළින් පන්දු 63ක දී ලකුණු 50ක් සහ පන්දු 35ක දී ලකුණු 48ක් ලබා ගත්තා. අංක 8 පිතිකරණ ස්ථානයෙන් පැමිණි හිරාන් ජයසුන්දර පන්දු 23ක දී රැස් කරන ලද ලකුණු 29ද ප්‍රතිවාදීන්ට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට දායක වුනා.

පන්දු යැවීමේ දී ශෙශාන් යෂෝන් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගනිද්දී නිසල් අබේරත්න, අකිල වික්‍රමසිංහ සහ මනුල කුලරත්න කඩුලු 2 බැගින් දවා ගත්තා.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාවට ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු සුපුන් වඩුගේ තීරණාත්මක අවසන් මහා තරගය තුල ද පන්දු 128ක දී ලකුණු 93ක් ලබා ගත්ත ද, එය කොළඹ උතුරු කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

මැදපෙළින් පැමිණි තිසර ඒකනායක සහ වතිල උදාර ලකුණු 30 සීමාව ඉක්මවා ගිය නමුත් ඔවුන්ට පිටිය තුළ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට ප්‍රවීන් මනීෂ ඇතුළු කොළඹ උතුර පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

  • කොළඹ උතුර – 283 (50): කවිඳු අමාමෙත් 82, සමිඳු මදුරංග 50, කූජන පෙරේරා 48, හිරාන් ජයසුන්දර 29, ප්‍රවීන් මනීෂ 18, ශෙශාන් යෂෝන් 4/40, නිසල් අබේරත්න 2/50, අකිල වික්‍රමසිංහ 2/44, මනුල කුලරත්න 2/68.
  • මහනුවර – 264 (48.3): සුපුන් වඩුගේ 93, වතිල උදාර 32, පුලිඳු පෙරේරා 31, තිසර ඒකනායක 31, ජයවි ලියනගම 21, ප්‍රවීන් මනීෂ 3/38, ගරුක සංකෙත් 2/77, තරුෂ කොඩිකාර 2/55, ළහිරු අමරසේකර 2/33.

කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 19ක ජයක්

ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවර්ධන ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ අධි කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානි ටිම් මැක්කැස්කිල් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

එහි දී ශූරතාව දිනූ කොළඹ උතුර කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 3ක් ද, අනූශූරතාවය දිනා ගත් මහනුවර කණ්ඩායමට අනුශූරතා කුසලානය සමඟ මුදලින් රුපියල් ලක්ෂ 2ක මුදලක් ද පිරිනැමුණා.

  • අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – කවිඳු අමමෙත් (කොළඹ උතුර) (කුසලානය සමඟ රු. 50,000)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – සුපුන් වඩුගේ (මහනුවර) (කුසලානය සමඟ රු. 50,000) ඉනිම හතරක දී ලකුණු 214 යි)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ගරුක සංකෙත් (කොළඹ උතුර) (කුසලානය සමඟ රු. 50,000) (ඉනිම 4ක දී කඩුලු 11 යි)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – දිනුර කළුපහන (ගාල්ල) (කුසලානය සමඟ රු. 75,000) (ඉනිම් 4ක දී ලකුණු 202යි කඩුලු 4යි)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<