වත්මන් ලොව වේගවත්ම මිනිසාට තහනමක්

521

තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරීම නිසාවෙන් 100m ඉසව්වේ වත්මන් ලෝක ශූරයා වන ක්‍රිස්ටියන් කෝල්මන් හට තාවකාලික තරග තහනමක් පැනවීමට කටයුතු කළ බව “Athletics Integrity Unit” මගින් නිවේදනය කරන ලදි.

තහනම් පාරෙන් ගොස් ඔලිම්පික් පදක්කම් අහිමි කර ගත් ජයග්‍රාහකයන්

මෙම තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් “Athletics Integrity Unit” මගින් සඳහන් කර තිබුණේ 2019 වසර තුළ දී තහනම් උත්තේජක පරීක්ෂණ තුනක් මගහැරීම නිසාවෙන් ඔහුට තාවකාලිකව මලල ක්‍රීඩාවට අදාළ සියලුම කටයුතු තහනම් කරන බවත්, තහනම් උත්තේජක නීතීන් උල්ලංඝනය කිරීම නිසාවෙන් ඒ පිළිබඳව කරුණු විභාගයකින් අනතුරුව අවසන් තීරණය ලබා දෙන බවයි.

තහනම් උත්තේජක නීතිවලට අනුව තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරීමෙන් වසර දෙකක් දක්වා වූ තරග තහනමකට ලක්විය හැකි නිසාවෙන් ඔහුට ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව ද මගහැරීමේ අවදානමක් ඇත.

කෙසේ නමුත් මෙම තහනම පිළිබඳව ඊයේ (16) Twitter සටහනක් තබමින් කෝල්මන් සඳහන් කර සිටියේ, ඔහු කිසිදු විටක තහනම් උත්තේජක ලබා නොගත් බවත්, මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් මගින් ඔහුට අවසන් පරීක්ෂණය සිතා මතා මග හැරවීමට උත්සහ කර ඇති බවත් ය.

ගෝමතිගේ දඬුවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට වාසි

“එම පරීක්ෂණයට ඔවුන් පැමිණියා යැයි කියන දෙසැම්බර් මස 09 වැනිදා මා නත්තල සඳහා සාප්පු සවාරියේ ගොස් සිටියේ. මම නිවසේ සිට මිනිත්තු පහක පමණ දුරකින් සිටියේ ඒත් කිසිම නිලධාරියෙක් මාව සම්බන්ධ කරගන්න උත්සහයක් දැරුවේ නැහැ. අඩුම තරමේ දුරකතන ඇමතුමක් මට දුන්නා නම් මා ඕනෑම අවස්ථාවක පරීක්ෂණය සඳහා සූදානමින් සිටියේ.”

“මෙය නිකන් හිතා මතා පරීක්ෂණය මගහරවන්න සිදු කළ දෙයක් වගෙයි. මම කිසිම දිනක තහනම් උත්තේජක භාවිතා කර නැහැ, භාවිතා කරන්නෙත් නැහැ. මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඉදිරියේ දී සෑම දිනකම හරි පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙන්න මම සූදානම්. මා හට සැඟවීමට කිසිම දෙයක් නැහැ, නමුත් අවස්ථාවක් ලැබෙන්නේ නැති නම් කොහොමද මම එය ඔප්පු කරන්නේ” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

මීට පෙර පසුගිය වසරේ ද (2019) තහනම් උත්තේජක පරීක්ෂණ 3ක් මගහැරීම නිසාවෙන් කෝල්මන් හට තහනමක් නිකුත් කිරීමට ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් කටයුතු කළ නමුත්, පසුව ඔහු විසින් එයට විරුද්ධව අභියාචනාවක් ඉදිරිපත් කර, මුල් පරීක්ෂණය අදාළ කාලසීමාවට අයත් නොවන බව තහවුරු කිරීම නිසාවෙන් එම තහනම ඉවත් කරන ලදි.

කෝල්මන් පසුගිය වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී 100m ඉසව්ව ජය ගනිමින් ලෝක ශූරයා බවට පත් වූ අතර ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ 100m ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ඇතැයි බොහෝ දෙන මත පලකර තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<