තහනම් පාරෙන් ගොස් ඔලිම්පික් පදක්කම් අහිමි කර ගත් ජයග්‍රාහකයන්

1224

ඕනෑම මලල ක්‍රීඩකයෙකුගේ සිහිනය කුමක්දැයි විමසුවොත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර වන්නේ ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම යන්නයි. නමුත් රටවල් 200කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩකයින් 10,000කට අධික පිරිසක් සහභාගි වන ඔලිම්පික් උළෙලේ පදක්කමක් දිනා ගැනීම පහසු නැත. එලෙස දිනා ගත් ඔලිම්පික් පදක්කමක් තහනම් උත්තේජක නිසාවෙන් අහිමි වූවොත්?

මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් නොබිඳි වාර්තා

වර්තමාන මලල ක්‍රීඩා පිටියේ ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් රැසක් තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වීම නිසාවෙන් තහනම් උත්තේජක පිළිබඳව මේ දිනවල වඩාත් කතා බහට ලක්වෙමින් පවතී.

මෙම තහනම් ද්‍රව්‍ය දැන හෝ නොදැන භාවිතය නිසාවෙන් තම පදක්කම් අහිමි කර ගැනීමට  අමතරව තම ක්‍රීඩා දිවියේ හොඳම කාලසීමාව පිටියෙන් ඉවත්ව කටයුතු කිරීමට බොහෝ ක්‍රීඩකයන්ට සිදු වන අතර ඇතැමුන් ජීවිතාන්තය දක්වා තහනම් ලබමින් වංචාකරුවන් යන නාමය ද සමඟ ක්‍රීඩා දිවිය නිමා කරයි.

ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම ක්‍රීඩා තරගාවලිය වන ඔලිම්පික් තරගාවලියේ ඉතිහාසය දෙස බලන විට තහනම් උත්තේජක භාවිතය නිසා සිය ජයග්‍රහණ අහිමි කර ගත් ක්‍රීඩකයන් රැසක් සිටියත් එයින් යම් සිදුවීම් කිහිපයකට කැපී පෙනෙන තැනක් හිමි වේ.

ඇඩ්‍රියන් ඇනස් (Adrián Annus -Hungariya) 

2000 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී ආබාධයක් නිසාවෙන් පසුබෑමට ලක්වීමට සිදු වූ හන්ගේරියානු මිටිය විසි කිරීමේ ක්‍රීඩක ඇඩ්‍රියන් ඇනස් 2004 වසරේ පැවති ඇතෑන්ස් ඔලිම්පික් උළෙලේ දී මිටිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර 83.19ක දක්ෂතාවක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

Image Courtesy: Getty Images

කෙසේ නමුත් තරගයට පෙර හා පසුව තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ඔහුගෙන් ලබා ගත් මුත්‍රා සාම්පලයන්හී බොහෝ පුද්ගලයන්ගේ සාම්පල් අඩංගු වී ඇති බව තහවුරු වීම නිසාවෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් නැවත පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහුට දැන්වූ අතර එය ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් ඔහුගේ ජයග්‍රහණය අවලංගු කරන ලදි. ඒ අනුව රන් පදක්කම එහි දෙවැනි ස්ථානය දිනා ගත් ජපන් ක්‍රීඩක කොජී ඇලෙක්සැන්ඩර් හට හිමි විය.

පසුව තහනම් උත්තේජක පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ක්‍රීඩා අධිකරණයේ දී සිදු කළ නඩු විභාගයෙන් අනතුරුව ඔහුට වසර 2ක තරග තහනමක් ද නිකුත් කරන ලදි.

මේරියන් ජෝන්ස් (Marion Jones) 

ඇමරිකාව නියෝජනය කරමින් 2000 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ මේරියන් ජෝන්ස් එම තරගාවලියේ 200m ඉසව්ව තත්පර 21.84ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එම තරගයේ රන් පදක්කමට අමතරව 100m ඉසව්වේ රන් පදක්කම සහ දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ද ඇතුළුව සමස්ත රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් තරගාවලිය නිමා කිරීමට ඇයට හැකි විය.

Image Courtesy: Getty Images

කෙසේ නමුත් 2003 වසරේ දී “Bay Area Laboratory Co-operative (BALCO)” මගින් ඉහළ පෙළෙහි ක්‍රීඩිකාවන් හට “steroids” ලබා දෙන බවට ලැබූ තොරතුරක් මත සිදු කළ පරීක්ෂණවල දී මේරියන් ජෝන් හට ද චෝදනා එල්ල වූ නමුත් ඇය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදි.

ඉන්පසුව 2007 වසරේ දී ඇය විසින් තමන් 2000 වසරේ ඔලිම්පික් උළෙලට පෙර තහනම් උත්තේජකයන් ලබා ගත් බවට පිළිගත් අතර පසුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඇය විසින් ලබා ගත් ජයග්‍රහණ සියල්ල අවලංගු කර පදක්කම් නැවත භාර ගන්නා ලදි.

මෙම තහනම ලාංකීය මලල ක්‍රීඩාවට ඉතා සතුටක් ගෙන දුන් පුවතක් වූ අතර 2000 වසරේ ඔලිම්පික් තරගාවලියේ දී 200m ඉසව්වෙ ලෝකඩ පදක්කම දිනා ගත් සුසන්තිකා ජයසිංහ හට මේරියන් ජෝන්ස්ගේ ජයග්‍රහණය අවලංගු කිරීමත් සමඟ රිදී පදක්කම හිමි වන ලදි.

බෝල්ට්ගෙන් පස්සේ වේගයේ කිරුළ කාටද?

අස්ලි සේකීර් (Aslı Çakır-Turkey)

2012 වසරේ පැවති ඔලිම්පික් තරගාවලිය සඳහා තුර්කිය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩිකා අස්ලි සේකීර් විසින් එම තරගාවලියේ මීටර් 1500 දිවීමේ තරගය මිනිත්තු 4:10.23ක කාලයකින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

කෙසේ නමුත් එම ජයග්‍රහණයෙන් කිහිප මසකට පසුව එනම් 2013 වසරේ මාර්තු මස 22 වැනි දින සේකීර් ඇතුළු ක්‍රීඩිකාවන් අට දෙනෙකු තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වී ඇති බව පුවත්පත් විසින් වාර්තා කෙරූ අතර ඇය විසින් 2004 වසරේ දී ද තහනම් උත්තේජක චෝදනාවන් සම්බන්ධයෙන් වරදකරු වීම නිසාවෙන් එම ප්‍රතිඵල සත්‍ය වුවහොත් ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වීමට ඉඩ ඇති බව ද වාර්තා පලවුනි.

Image Courtesy: Getty Images

පසුව එම වසරේම දෙසැම්බර් මස 03 වැනි දින ඇයට ඇති චෝදනා ඉවත් කළ බවට තුර්කි මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළ අතර එම නිවේදනයට එරෙහිව ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩා අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරමින් ඇයට තරග තහනමක් නිකුත් කරන ලදි.

ඉන්පසුව 2015 වසරේ අගෝස්තු 17 වැනිදා ක්‍රීඩා අධිකරණය විසින් සේකීර් සහ මලල ක්‍රීඩා සංගමය ඇති කර ගත් එකඟතාවය අනුමත කළ නිසාවෙන් ඇගේ ඔලිම්පික් ජයග්‍රහණය අවලංගු කර පදක්කම නැවත ලබා ගැනීමට සහ වසර අටක් දක්වා තරග තහනමක් පැනවීමට කටයුතු කරන ලදි.

කෙසේ නමුත් 2017 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා ඇයට ජීවිතාන්තය තෙක් තරග තහනමක් පැනවීමට බලධාරීන් තීරණය කෙරූ අතර ඇය ජය ගත් එම තරගය අවසන් කළ මුල් තරගකරුවන් නව දෙනාගෙන් හය දෙනෙකුම තහනම් උත්තේජක ලබා සිටි බව තහවුරු වීම නිසාවෙන් මලල ක්‍රීඩා ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ තරගයක් ලෙස ද එය ඉතිහාස ගත විය.

තරගයකට එහා ගිය පිය සෙනෙහස

රික් ඩීමවුන්ට් (Rick DeMont-USA) 

ඇමරිකාව නියෝජනය කරමින් 1972 වසරේ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ පිහිනුම් ක්‍රීඩක රික් ඩීමවුන්ට් එම තරගාවලියේ තමන් සහභාගි වූ මුල්ම ඉසව්ව වන “400-meter freestyle” තරගය මිනිත්තු 4:00.26ක කාලයකින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

කෙසේ නමුත් තරගයෙන් අනතුරුව සිදු කළ මුත්‍රා සාම්පල් පරීක්ෂාවේ දී ඔහුගේ ශරීරයේ තිබී “ephedrine” නම් තහනම් ද්‍රව්‍යය හමුවීම නිසාවෙන් ඔහුගේ ජයග්‍රහණය අවලංගු කරමින් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ඔහුට තහනම් කෙරූ නිසාවෙන් “1,500-meter freestyl” ඉසව්වේ එවකට ලෝක වාර්තාවට ද හිමිකම් කියූ ඔහුට එම ඉසව්වට සහභාගි වීමට ද අවස්ථාව හිමිනොවුනි.

රික් ඩීමවුන්ට්(වමේ) 1972 ඔලිම්පික් තරගාවලියේ දී Image Courtesy: Getty Images

කෙසේ නමුත් එම තහනම් ද්‍රව්‍යය ඔහුගේ ඇදුම රෝගයට ගත් බෙහෙත් වට්ටෝරුවේ අඩංගු වී තිබූ දෙයක් වූ බැවින් ඒ පිළිබඳව ඔහු විසින් තරගාවලියට පෙර තම බෙහෙත් ද්‍රව්‍යයන් පිළිබඳව හෙලිකරන ආකෘති පත්‍රයේ නිවැරදිව සටහන් කර තිබුනත්, ඇමරිකානු ඔලිම්පික් කමිටුව විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය සංගමය සමඟ එම ගැටලුව පිළිබඳව නිවැරදිව කටයුතු කර නොතිබීම නිසාවෙන් පහසුවෙන් දිනා ගැනීමට තිබූ පදක්කම් කිහිපයක් ඔහුට අහිමි විය.

දැඩි වේදනාවක් ගෙන දුන් තරගාවලියකින් අනතුරුව 1973 වසරේ පැවති “World Aquatics Championships” තරගාවලියේ දී “400-meter freestyle” ඉසව්ව මිනිත්තු 3:58.18ක කාලයකින් අවසන් කරමින් එහි ලෝක වාර්තාව පිහිටුවීමට ඔහු සමත් වූ අතර එම වසරේ හොඳම පිහිනුම් ක්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහු විසින් දිනා ගන්නා ලදි. 

කෙසේ නමුත් 2001 වසරේ දී ඇමරිකානු ඔලිම්පික් කමිටුව විසින් තමන් අතින් වූ වරද පිළිගනිමින් එම සිදුවීම ගැන දන්වා රික් ඩීමවුන්ට්ගේ පදක්කම නැවත ලබා දෙන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැත.

තරගයකට එහා ගිය පිය සෙනෙහස

බෙන් ජොන්සන් (Ben Johnson-Canada)

කැනඩාව නියෝජනය කරමින් 1998 වසරේ පැවති ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූ කැනේඩියානු ක්‍රීඩක බෙන් ජොන්සන් එම තරගාවලියේ 100m ඉසව්ව තත්පර 9.79ක කාලයකින් නිමා කර එම ඉසව්වට අදාළ ලෝක වාර්තාව පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

නමුත් තරගය අවසන් වී දින තුනකට පසුව ඔහුගේ මුත්‍රා සාම්පලයේ “stanozolol” නමැති තහනම් ද්‍රව්‍ය ඇති බව නිවේදනය කරමින් ඔහුගේ ජයග්‍රහණය අවලංගු කිරීමට කටයුතු කළ අතර පසුව ඔහු විසින් “steroids” නම් උත්තේජකය භාවිතා කළ බව පිළිගැනීම නිසාවෙන් ඔහු පිහිට වූ ලෝක වාර්තාව ද අවලංගු කිරීමට තීරණය කළේය.

Image Courtesy: Getty Images

එම තීරණයත් සමඟින් එම තරගයේ රන් පදක්කම ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ ඇමරිකානු ක්‍රීඩක කාල් ලුවිස් හට හිමි වූ අතර එම තරගය ඉතිහාසයේ අපිරිසිදුම තරගය ලෙසට ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හඳුන්වන ලදි.

මෙම තහනම් උත්තේජනය පිළිබඳව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවන්නට වූ අතර “Toronto Star” නම් පුවත්පත වාර්තා කර තිබුණේ මෙම පරීක්ෂණ වාර්තාව තුළ යම් නොගැලපීම් ඇති බවත්, කැනේඩියානු බලධාරීන් කිසිවෙකුත් මෙහි විද්‍යාගාර වාර්තාව දැක නොමැති නිසාවෙන් එය පිළිබඳව ගැටලුවක් පැන නැගෙන බවයි.

පසුව කැනේඩියානු කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි විලියම් ස්ටැනිෂ් මෙම වාර්තාව ඉල්ලා සිටි නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය කමිටුව එම වාර්තාව පිළිබඳව සහතික වීමෙන් පසුව කැනේඩියානු කණ්ඩායම ඊට විරුද්ධ නොවීය.

වසර තුනක තරග තහනමෙන් පසුව 1991 වසරේ නැවතත් ක්‍රීඩා පිටියට පැමිණි ජොන්සන් 1992 වසරේ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවත් 100m ඉසව්වේ අවසන් තරගයකට සුදුසුකම් ලබා ගැනීමට අසමත් විය.

පසුව නැවත වරක් 1993 වසරේ දී තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වීම නිසාවෙන් ජොන්සන් හට ජිවිතාන්තය දක්වා තරග තහනමක් නිකුත් කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කළ අතර කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඔහුව තම රටට අපකීර්තියක් ලෙස හඳුන්වමින් ඔහුව තම උපන් රට වන ජැමෙයිකාවට යවන ලෙස ද යෝජනා කළේය.

පසුව 1999 වසරේ දී ඔහු හට කැනඩාව තුළ දී තනිව තරග කිරීමට අවස්ථාව හිමි වූ අතර එම වසරේම කාලය මැනීමේ තරගයක් සඳහා ඉදිරිපත් වූ ඔහු තෙවැනි වරටත් තහනම් උත්තේජක පරීක්ෂණය අසමත් වන ලදි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<