ජ’පුර සහ වයඹ සිසුහු කොළඹ රග්බි පිටිය පෙරළයි

1192

කොළඹ විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලිය ඊයේ (04) කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ආරම්භ වුනා. තරගාවලියේ ආරම්භයේ දී ම යාපනය සහ ජ’පුර, වයඹ සහ රජරට, ඌව සහ නැගෙනහිර, සබරගමුව සහ අග්නිදිග විශ්ව විද්‍යාල කණ්ඩායම් කොළඹ දී සහ මහනුවර දී තරග බිමට පිවිසියේය.

එම තරගවලින් ජ’පුර, වයඹ, සබරගමුව සහ ඌව විශ්ව විද්‍යාල ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.

“විස් විදු” රග්බි ශූරතාවයට කොළඹ සරසවියෙන් ප්‍රබල සංචිතයක්

ජාත්‍යන්තර රග්බි උණුසුම පහව යන්නටත් පෙර ජාතික ක්‍රීඩා පිටිය තුල නැවතත් මහා සංග්‍රාමයක් වෙනුවෙන් දොරටු විවර වන්නට ආසන්නය. ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය රග්බි ක්‍රීඩා…

යාපනය පරාජය කරමින් ජ’පුර ඉදිරියට

ප්‍රථමයෙන් පැවැත්වූ තරගයේ දී යාපනය විශ්ව විද්‍යාලය හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එකිනෙකා හා තරග වැදුණ අතර එහි දී ලකුණු 10-36ක් වශයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට ජ’පුර සරසවි සිසුන් සමත් වුනා.

දහවල් 02.45 ආරම්භ වූ තරගය සඳහා ජවසම්පන්න ලෙස අවතීර්ණ වූ යාපනය ක්‍රීඩකයින් හා ජ’පුර ක්‍රීඩකයින් කරට කර ගැටුණ අතර ප්‍රථම විනාඩි 15 ගත වන තෙක් කිසිවෙකුට ලකුණක් වාර්තා කිරීමට නොහැකි විය. කෙසේ නමුත් ඉතාමත් දක්ෂ අයුරින් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ව නොතකමින් ඉදිරියට ඇදුණු ජ’පුර ක්‍රීඩක කෝසල පහළගම හරියටම ගෝල කණු මැදින් පන්දුව තබා ලබාගත් උත්සාහක දිනුම ඔවුන්ගේ ලකුණු පුවරුවට ලකුණු 5ක් එක් කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (යාපනය 00 – 05 ජ’පුර)

එහි උණුසුම මැකීමට මත්තෙන් පිට පිට පිටියේ ජ’පුර කණ්ඩායමේ විහිදුම් විලාසයේ අඩුපාඩුවකින් ප්‍රයෝජනය ගත් යාපනය සරසවි ක්‍රීඩක ඩී. එම්. දිසානායක උපායශීලීව උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඔහු විසින්ම එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේය. (යාපනය 07 – 05 ජ’පුර)

තරගය ආරම්භයේ පටන්ම සුපිරි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ජ’පුර ක්‍රීඩක කෝසල සහ ෂහෙන් සිල්වා යාපනය කණ්ඩායමට දැඩි හිසරදයක් වන්නට විය. ඔවුන් දෙදෙනා අනුවම යමින් බී. ආරියරත්න ඇතුළු ඔවුන්ගේ අනෙක් සඟයින් ද ආක්‍රමණශීලී තරග රටාවකට අනුගත වුනා. මේ අතරවාරයේ එක් වරම යාපනය ක්‍රීඩකයින්ව අන්දමන්ද කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ෂහෙන් සිල්වා සමත් වූ අතර එහි ප්‍රවර්තනය ලබා ගැනීමට කෝසල හට නොහැකි විය. (යාපනය 07 – 10 ජ’පුර)

ලසිත ගුණරත්න සමග ශ්‍රී ලංකා රග්බි නව ගමනකට සැරසේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා CR & FC ක්‍රීඩක ලසිත ගුණරත්න ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ නව සභාපති ලෙස තේරී පත්විය. ඒ අනුව මේ දක්වා එහි සභාපති ලෙස ක්‍රීඩා කළ අසංග සෙනෙවිරත්න…

පළමු අර්ධය නිමා වීමට ආසන්න වත්ම තරගයේ උද්වේගකර බව වැඩි වූ නිසා අපරික්ෂාකාරී වූ දෙපිළේම ක්‍රීඩකයින් විසින් නීති විරෝධී ක්‍රීඩා රටාවන් අනුගමනය කිරීමේ සිද්ධීන් දැක ගන්නට ලැබුණි. එමෙන්ම සිය ප්‍රතිවාදී කණ්ඩායම එල්ල කර තිබූ දැඩි පීඩනය හමුවේ අසරණ වූ යාපනය සරසවි කණ්ඩායම කලබලයට පත් වූ බවක් පෙනුණු අතර විශ්වාසය බිඳී ගොස් ඇති බවක් ද දැක ගන්නට ලැබුණි. පළමු අර්ධයේ අවසාන මිනිත්තුවේ නැවතත් ක්‍රියාත්මක වූ ජ’පුර ක්‍රීඩක කේ. ඩී. හේරත් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්තනය කෝසලගේ පාදයෙන් වාර්තා වුනා.

පළමු අර්ධය:  යාපනය විශ්ව විද්‍යාලය – 17 ජ’පුර විශ්ව විද්‍යාලය

මිනිත්තු 5ක විවේක කාලයකින් පසුව ආරම්භ වූ දෙවන අර්ධයේ ද යාපනය ක්‍රීඩකයින්ගෙන් දිස් වූයේ එතරම් නැවුම් බවක් නොවේ. යම් වාසනාවන්ත බවක් ලැබූ නිසා දෝ දඬුවම් පහරක් සාර්ථක කර ගත් යාපනය ක්‍රීඩක මිගාර දාබරේ විසින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව 10 දක්වා ඉහළට ඔසවන ලදි.

යාපනය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ මිගාර දාබරේ හා ගයාන් කුමාර තම කණ්ඩායමේ ඉදිරිය උදෙසා මහත් කැපවීමෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. ඉන්පසු ස්වල්ප වෙලාවක් ගත වන තුරු කණ්ඩායම් ද්විත්වයම ලකුණු ලබා ගැනීමට උත්සහ කළ ද කිසිවෙකුට සාර්ථක වීමට හැකි වූයේ නැහැ. (යාපනය 10 – 17 ජ’පුර)

සුපුරුදු පරිදි නැවතත් කෝසල – ෂහෙන් සුසංයෝගය ක්‍රියාත්මක වෙමින් ජ’පුර සරසවියේ ලකුණු මල්ල පුරවන්නට පටන් ගත්තේය. සිය වේගවත් ක්‍රීඩා රටාව උපයෝගී කරගනිමින් ප්‍රතිමල්ලවයින්ට ඔහුව වළක්වාලීමට කිසිදු ඉඩක් නොතබා ගෝල කණු වෙත ගොස් මිනිත්තු 10ක් තුළ උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට ෂහෙන් සිල්වා හට හැකි වූ නමුත් ඒවායේ ප්‍රවර්තනයන් එකක් පමණක් සාර්ථක කර ගැනීමට කෝසල හට හැකි විය. (යාපනය 10 – 29 ජ’පුර)

සාන්ත පීතර ක්‍රීඩකයෝ පෙරළිකාර විද්‍යාර්ථ බලාපොරොත්තු සුන් කරති

වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අවසන් මහා තරගය සඳහා පෙරළිකාර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමඟ අපරාජිත සාන්ත පීතර විද්‍යාලය තරග වැදුණු…

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ගතවන අවස්ථාවේ දී ද යාපනය සරසවි ක්‍රීඩකයින් සිය අභියෝගාත්මක බව අඩු නොකළ ද එය නොතැකු ජ’පුර ක්‍රීඩක දමින්ද දර්ශන උත්සාහක දිනුමක් ලබා ගත්තේය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ආර්. එල්. ෆොන්සේකා හට හැකි විය.

තරගය පුරාවට යාපනය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ගොදුරු වනු දක්නට ලැබුණු අතර එය ඔවුන්ගේ පරාජයට බලපෑ දරුණුතම හේතුවක් විය.

මේ අනුව තරගාවලියේ ප්‍රථම තරගයේ ජයග්‍රහණය සැමරීමට ලකුණු 36ක් ලබාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: යාපනය විශ්ව විද්‍යාලය 10 – 36 ජ’පුර විශ්ව විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • යාපනය – ඩී. එම්. දිසානායක 1T 1C, මිගාර දාබරේ 1P
  • ජ’පුර – ශහෙන් සිල්වා  3T, කෝසල පහළගම 1T 2C, කේ. ඩී. හේරත් 1T, දමින්ද දර්ශන 1T, ආර්. එල්. ෆොන්සේකා 1C

රජරට වයඹ ගැටුමෙන් රජරටට දරුණු පරාජයක්

මෙම තරගාවලියේ දෙවන තරගය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ම ඊයේ (04) පැවති වයඹ විශ්ව විද්‍යාලය හා රජරට විශ්ව විද්‍යාලය අතර තරගය රජරට කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් ලකුණු 07-24ක් වශයෙන් පහසුවෙන් ජය ගැනීමට වයඹ සරසවි කණ්ඩායම සමත් වුනා.

නැවුම් මුහුණුවරකින් පිටියට පිවිසි කණ්ඩායම් දෙකම තරගයේ පළමු මිනිත්තුවේ පටන් සටන්කාමී ඉරියව්වකින් ක්‍රීඩා කළ අතර ජයග්‍රහණය කුමන අතට දෝලනය වේ දැයි  සැක මතුවන ආකාරයට එය ගලා යන්නට විය.

තරගය ආරම්භව මිනිත්තු 10ක් ගත වීමට මත්තෙන් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට වයඹ සරසවි කණ්ඩායමේ ඒ. පී. විජේසේකර සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට එම්. සරත්චන්ද්‍ර හට හැකි වූයේ නැත. නමුත් මේ ඉක්මන් ලකුණු ලබා ගැනීම රජරට පිළට යම් තිගැස්සීමක් ගෙන දෙන්නට වූ බවක් පෙනුණි. (රජරට 00 – 05 වයඹ)

කෙසේ වුවත් පිටියේ දී කණ්ඩායම් දෙකෙහිම දක්නට ලැබුණු තාක්ෂණික භාවිතයන් ඉහළ මට්ටමක තිබුණි. එකිනෙකාට නොදෙවෙනි ලෙස ක්‍රීඩා කළ ඔවුන් අතරින් වයඹ කණ්ඩායමේ ඩී. බී. පද්මසිරි හා ඒ. පී. විජේසේකර ද, රජරට කණ්ඩායමේ යූ. පීරිස් ද කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන ලදි.

තරගයේ 20වන මිනිත්තුවේ දී තම කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට රජරට විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ යූ. පීරිස් හට හැකි වූ අතර එහි ප්‍රවර්තනය ජේ. විජේවර්ධන විසින් සාර්ථක කර ගත්තේය. (රජරට 07 – 05 වයඹ)

ක්‍රීඩකයින්ගේ රෞද්‍ර ක්‍රීඩා විලාසය මනාවට පෙනුණු මේ තරගයේ දෙපිළේම ක්‍රීඩකයින් තුන් දෙනෙකුට කහ කාඩ් පත් නිකුත් කෙරුණු අතර  එක ක්‍රීඩකයෙකුට රතු කාඩ් පතක් ද තරග විනිසුරු විසින් නිකුත් කරන ලදි.

ප්‍රථම අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී වයඹ සරසවි කණ්ඩායමේ ඒ. මදුසංක එක් කර ගත් උත්සාහක දිනුමෙහි ප්‍රවර්තනය අසාර්ථක වූ අතර තවත් ලකුණු 5ක් ඔවුන්ගේ ලකුණු පුවරුවට එකතු කළේය.

පළමු අර්ධය:  රජරට විශ්ව විද්‍යාලය 07 – 10 වයඹ විශ්ව විද්‍යාලය

දෙවන අර්ධය ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි දෙපිළේ ක්‍රීඩකයින් වෙතින් කිසිදු විඩාබර බවක් දක්නට නොලැබුණේ තරගයේ ආරම්භයේ දී මෙනි. මෙම වටයේ දී ද විනිසුරු විසින් වයඹ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සඳහා කහ කාඩ් පත් නිකුත් කරන ලදි.

මෙහි දී පළමු මිනිත්තු 25ක කාලය තුළ දී කිසිදු ලකුණු ලබා ගැනීමක් දෙපිළේ ම ක්‍රීඩකයින් අපොහොසත් වුනා.

විද්‍යා ක්‍රීඩකයින්ගෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට අමිහිරි පරාජයක්

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (28) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වූ අතර එහි දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය…

කෙසේ හෝ තරගයේ අවසන් මිනිත්තු පහ තුළ පිට පිට උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට පිළිවෙළින් වයඹ සරසවියේ පී. හේරත් සහ ආර්. ගුණතිලක සමත් විය. එහි දී සාර්ථක වූ ප්‍රවර්තනයන් දෙකම එන්. දිසානායක විසින් ලබා ගත්තා.

මේ අනුව තරගයේ දැවැන්ත ජයග්‍රහණය මුළු ලකුණු 24ක් සහිතව රජරට සරසවි කණ්ඩායම ලකුණු 07කට සීමා කරමින් ලබා ගැනීමට වයඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට හැකි වුනා.  

අවසන් ලකුණු තත්වය: රජරට විශ්ව විද්‍යාලය 07 – 24 වයඹ විශ්ව විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • රජරට –  යූ. පීරිස් 1T, ජේ. විජේවර්ධන 1C
  • වයඹ –  ඒ. පී. විජේසේකර 1T, ඒ. මදුසංක 1T, පී. හේරත් 1T, ආර්. ගුණතිලක 1T, එන්. දිසානායක 2C

ඊයේ දිනයේ පැවති අනෙක් තරග ද්විත්වය පේරාදෙණිය විශ්ව විද්‍යාල පිටියේ දී පැවති අතර එහි දී අග්නිදිග විශ්ව විද්‍යාලය 29-00ක් ලෙස පරාජය කිරීමට සබරගමුව විශ්ව විද්‍යාල ක්‍රීඩකයින් සමත් වූ අතර නැගෙනහිර විශ්ව විද්‍යාලය 48-03ක් ලෙස පරාජය කරන්නට ඌව විශ්ව විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<