හතුරුසිංහ පා දඟපන්දු යවන්නන් සොයයි

3476

බංග්ලාදේශය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් බංග්ලාදේශ ක්‍රිකට් වෙනම ම තලයක් වෙත රැගෙන යාමේ බලාපොරොත්තුව සහිතව කටයුතු කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුණක්.

නැවතත් බංග්ලාදේශ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට ආරම්භ කළ මොහොතේ ඔහු විසින් අවධාරණය කලේ බංග්ලාදේශ ක්‍රිකට්වලට යමක් ලබා දීම සහ උරුමයක් ඉතිරි කිරීම තම බලාපොරොත්තුව බවයි.

“දැන් මම ගොඩක් අත්දැකීම් සහිතයි, ඒ වගේම මම දන්නවා බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රියා කරන්නේ කොහොමද කියලත්.

තරග ජයග්‍රහණය කිරීම ම නෙවෙයි, (ප්‍රධාන ලෙස ම අවධානය යොමු කළ යුතු එයට වුවත්) ඒ සමඟම යමක් ආපසු ලබා දීම සහ ඉතිරි කිරීමත් කළ යුතුයි.”

සිය වගකීම බාර ගැනීමෙන් පසු සහභාගී වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී හතුරුසිංහ විසින් මේ බව සඳහන් කළා.

ඔහු සිය අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් බොහෝ වැඩපිළිවෙළ සකස් කර ඇති අතර එහි තවත් එක් පියවරක් ඊයේ (19) පැවැත්වුණා.

ඊයේ හතුරුසිංහ විසින් බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම් පුහුණු කාර්ය මණ්ඩලය, ඉහළ කාර්යසාධන ඒකකය සහ 19න් පහළ කණ්ඩායම් පුහුණුකරුවන් සමඟ හමුවකට සහභාගී වී තිබෙනවා.

එහි දී බංග්ලාදේශ ක්‍රිකට් වල අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තමන්ගේ දැක්ම හතුරුසිංහ විසින් පැහැදිලි කර ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

මෙම රැස්වීම සඳහා ඉහළ කාර්යසාධන ඒකකයේ ප්‍රධානී David Hemp, 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Stuart Law වැනි පිරිසක් එක්ව සිට ඇති අතර එහි දී හතුරුසිංහ විසින් බොහෝ නවමු අදහස් ලබා දුන් බවයි එයට සහභාගී වූ අනෙක් පුහුණුකරුවන් පසුව ප්‍රකාශ කළේ.

“ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට යන්න කලින් වයස අවුරුදු 17න් පහළ, 19න් පහළ කණ්ඩායම් වලින් වගේම පසුව ඉහළ කාර්යසාධන අංශයෙන්, A කණ්ඩායමෙන් විවිධ තාක්ෂණික දේවල් ඉගෙන ගන්නවා.

එක් තැනක සිට තවත් තැනකට යද්දී ක්‍රීඩකයකුට එය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් බව නොහැඟිය යුතුයි.”

මෙම සාකච්ඡාවට සහභාගී වූ එක් පුහුණුකරුවකු හතුරුසිංහගේ අදහස් එසේ නැවත ප්‍රකාශ කළ අතර මෙම අදහස සමඟින් ක්‍රීඩකයින් පුහුණු කිරීමේ දර්ශනය තේරුම් ගත යුතු බවත් සෑම තරුණ ක්‍රීඩකයකුට ම එකම පුහුණු කිරීමේ ක්‍රමවේදයක් නොගැලපෙන බවත්  හතුරුසිංහ විසින් මෙහි දී පැවසූ බවත් සඳහන් කළා.

මේ අතර හතුරුසිංහ විසින් මෙම හමුව අතරතුර පුහුණුකරුවන් අමතමින් විශේෂයෙන්ම සඳහන් කර තිබුණේ ඉදිරිය වෙනුවෙන් පා දඟපන්දු යවන්නන් සහ වේගපන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයින් සොයා ගනිමින් ඔවුන් ව දියුණු කිරීම සිදු කළ යුතු බවයි.

“ඔහු (හතුරුසිංහ) අපිට කිව්වා පා දඟපන්දු යවන්නන් සහ තුන් ඉරියව් වේගපන්දු යවන්නන් ගැන සොයා බලන්න කියලා. එමෙන්ම අවස්ථාවක් තිබේ නම් මෙම කාණ්ඩ දෙකේ ක්‍රිකට් ක්‍රීඩකයින් දේශීය තලය තුළ ප්‍රවර්ධනය කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.”

එය දැනට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඇති ප්‍රධානතම අඩුපාඩුවක් ලෙස හතුරුසිංහ විසින් හඳුනා ගෙන ඇති බවයි මෙම හමුවට සහභාගී වූ තවත් පුහුණුකරුවකු විසින් සඳහන් කර තිබුණේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<