මිනීමැරුමක් නිසාවෙන් අපට අහිමි වූ ලෝක පූජිත “සතා”

1026
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සමඟ සතාසිවම්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය 1800 තරම් ඈතක බැව් විකිපීඩියා නිදහස් විශ්වකෝෂය පවසයි. එහි ස්වර්ණමය අවධිය වන්නේ 90 දශකයෙන් මෙපිට බැව් ද එහි පැවසේ. අර්ජුන, අරවින්ද, සනත්, මුරලි, මහේල සහ සංගක්කාර වැන්නෝ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්ණවත් කළෝය. ඒ අප ද දන්නා අතීතයයි. මේ ඊට එපිට කතාවකි.

මේ කතාවේ කතා නායකයා වන්නේ මහාදේවන් සතාසිවම් හෙවත් ක්‍රිකට් ලොවේ ප්‍රචලිත වූ “සතා” ය. 1915 ඔක්තෝබර් 18 වැනිදා උපත ලැබූ මහාදේවන් සතාසිවම් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ සහ කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් අවධියේ සිටම ප්‍රතිවාදීන් මෙල්ල කළ පිතිකරුවෙක් වූ සතාසිවම් 1934 වසරේ සිට 1936 දක්වා වෙස්ලි විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ ය. එහි දී 1936 දී පැවති වෙස්ලි – සාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගයේ දී තම කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 70ක් ලබා අසරණව සිටි අවස්ථාවේ දී ලකුණු 142ක් ලබා ගනිමින් තම කණ්ඩයම ජයග්‍රහණය කරවීමට සමත් වී තිබේ. 

1944/45 වකවානුවේ දී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ බැව් cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි. එහි ඔහුගේ දක්ෂතා වන්නේ තරග 11, ඉනිම් 18ක දී ලකුණු 753ක් ලෙසිනි. ඊට ද්විත්ව ශතකයක්, ශතක දෙකක් සහ අර්ධ ශතක 3ක් ඇතුළත් ය. 

සතාසිවම්ගේ ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ඉනිම් අතරට 1944 දී බොම්බායේ මුස්ලිම් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 101 ප්‍රමුඛ තැනක් ගන්නේ ය. එය සතාසිවම්ගේ මංගල පළමු පෙළ තරගයයි. ඇතැම් විට තම පළමු පළමු පෙළ තරගයේ පළමු ශතකය වාර්තා කළ ක්‍රීඩකයන් අතර මෙරට පළමු ක්‍රීඩකයා ද ඔහු විය හැකි ය. 

කෙසේ වෙතත් මේ තරගයත් සමඟින් සතාසිවම් නාමය මෙරට මෙන්ම එතෙර ද ප්‍රචලිත විය. අනතුරුව මේ තත්ත්වය තවත් තීව්‍ර කර ගැනීමට සතාසිවම් සමත් වෙන්නේ 1945 වසරේ දී මෙරට සංචාරය කළ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 111ක් ලබා ගනිමිනි.

සතාසිවම්ගේ හොඳම ඉනිම ලෙසින් සටහන් වෙන්නේ 1947 දී ඔහු සිලෝන් ක්‍රිකට් සංගමය නමැති නමින් වූ එකල අප රටේ කණ්ඩායම හැඳින්වූ කණ්ඩායමට ක්‍රීඩා කරමින් දකුණු ඉන්දීය කණ්ඩායමට එරෙහිව එරට දී වාර්තා කළ ලකුණු 215යි. ඊට පසුව 1950 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය xi කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 96ක් ද ඔහුගේ එතෙර කණ්ඩායම්වලට එරෙහිව දක්ෂතා අතර වේ.

මෙරට දී ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සතාසිවම් එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව 1945 දී ලබා ගත් ලකුණු 167 සහ 1947 දී නැවත එස්. එස්. සී. කණ්ඩයමට එරෙහිව ලබා ගත් ලකුණු 163 ද ඔහුගේ ඉහළ දක්ෂතා අතර සටහන් වේ. 

එකල කලාතුරකින් පැවති ක්‍රිකට් තරගවල දී මේ සා දක්ෂතා දැක්වූ සතාසිවම් අපට වැදගත් වන්නේ කාරණා කිහිපයක්ම හේතුවෙනි. ඔහු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙන් පවා පිළිගැනීමට ලක් වූ දක්ෂ පිතිකරුවෙකි. ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල් ත්‍රිත්වයේම ජාතික ක්‍රිකට් කණ්ඩායම් මෙහෙයවමින් ලෝකයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් ත්‍රිත්වයක් මෙහෙය වූ එකම නායකයා ද වූයේ ද සතාසිවම් ය. එමෙන්ම කෙළිලොල් ජීවිතයක් ගත කරමින් අවසානයේ මිනීමැරුම් චෝදනාවකට ලක්ව තම ක්‍රිකට් ජීවිතය විනාශ කර ගත් අවාසනාවන්ත පුද්ගලයෙක් ලෙසින් ද ඔහු හැදින්විය හැක.

මෙකල මෙන් නොවේ, එකල මෙරටට ක්‍රිකට් කණ්ඩායමක් පැමිණියේ නම් හෝ මෙරට ක්‍රිකට් කණ්ඩායමක් එතෙර ගියේ නම් ඒ නැව් මගිනි. මේ ආකාරයෙන් එකල මෙරට දී එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් ද මෙරට දී තරග වැදුණි. ඔවුන් බොහෝ විට මාස ගණන් මුහුදු ගමනේ යෙදෙමින් ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලට ද සංචාරය කරමින් තරගයකට හෝ දෙකකට මෙරට පැමිණියෝ වෙති. ඒ අතර වරෙක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ නායකත්වයෙන් මෙරට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග වැදුණ සිලෝන් කණ්ඩායමේ නායකත්වය ඉසිලුවේ මහාදේවන් සතාසිවම් ය.

සතාසිවම් විනෝදයට බර කෙළිලොල් ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් බැව් ඔහු ගැන තැබුණ සටහන් මගින් පිළිගත හැකිය. මේ සම්බන්ධයෙන් කදිම සාක්ෂියක් සපයා ඇත්තේ එකල සිලෝන් කණ්ඩායම වූ අප කණ්ඩායමේ කඩුලු රැකි ක්‍රීඩකයා වූ බෙන් නවරත්න පැවසූ දෑ ය.

තවත් විශේෂාංග ලිපි:

1947 දී මදුරාසි නුවරට පැමිණි අප කණ්ඩායම හමු වූ එක් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් සතාසිවම්ට පවසා ඇත්තේ ඊට පසු දින පැවැත්වෙන තරගයේ දී ශතකයක් වාර්තා කරන්නේ නම් විදෙස් මත්පැන් බෝතලයක් ප්‍රදානය කරන බවයි. ඔහු එදින සවස තරගය නතර කරන විට ක්‍රීඩා විවේකාගාරයට පැමිණෙන්නේ නොදැවී ලකුණු 134ක් ලබා ගනිමිනි. 

ප්‍රේක්ෂකයා විසින් ඔහු වෙත මත්පැන් බෝතලය ප්‍රදානය කෙරුණි. නමුත් සතාසිවම් එවිට පවසා ඇත්තේ තමන් ඊළඟ දිනයේ දී ද්විත්ව ශතකයක් ලබා ගන්නා බවත්, ඒ වෙනුවෙන් ඔහුව බොම්බායේ චාරිකාවකට එක් කර ගන්නා ලෙසත් ය. මේ හේතුව මත සතාසිවම් කාමරයේ සිටිතැයි තමන් සිතූව ද රාත්‍රියේ බැලූ කළ මිතුරා කාමරයේ නොවූ බවත්, නමුත් ඔහු කියු පරිදිම ඊළඟ දිනයේ දී  ඉතා පහසුවෙන්ම ලකුණු 215ක් ලබා ගත් බවත් ඔහු පවසයි. එය ඔහුගේ ක්‍රිකට් තරග දිවියේ හොඳම ඉනිම ද බවට පත් විය. 

මේ ඉනිම සම්බන්ධයෙන් ඉන්දීය දඟපන්දු යවන්නෙක් වූ ගුලාම් අහමඩ් එරට මාධ්‍යවේදියෙක් සමඟ පවසා තිබුණේ සතාසිවම් ඉතා දක්ෂ ලෙස පාද හසුරුවන පිතිකරුවෙක් බවයි. “මම කවදාවත් දැකල තිබුණේ නැහැ ඒ වගේ ඉනිමක්. ඔහු අපේ සියලුම පන්දු යවන්නෝ ඉතාම පහත් විදිහට පිතිහරඹයෙන් අවඥාවට ලක් කළා” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර තිබුණි.

ඔහු 1950 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 96 එකල කාගේත් කතා බහට ලක් වූ ඉනිමක් වී තිබුණි. මේ ඉනිම කොතරම් අගය කිරීමට ලක් වූයේ ද යත් යම් ලෙසකින් ලෝක ක්‍රිකට් කණ්ඩායමක් නම් කරන්නේ එහි සතාසිවම්ගේ නම අංක 1ට යොදන බැව් ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් පවසා තිබුණි.

ලෝක ප්‍රකට වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සමඟ අවස්ථා කිහිපයක දී ම සතාසිවම් ක්‍රීඩා කර ඇත. ඔහු වරෙක පවසා තිබුණේ “මිහිපිට පහළ වූ අද්විතීයම පිතිකරුවා” සතාසිවම් බව ය.

තරගයෙන් අනතුරුව ගෙවෙන රාත්‍රින් හී සතාසිවම් බොහෝ විට දැක ගත හැක්කේ රාත්‍රි සමාජශාලාවල බැව් ද පැවසේ. නමුත් ඒ හේතුවෙන් පසුදින පැවැත්වෙන තරගයට කිසිදු ලෙසකින් අහිතකට බලපෑමකට ලක් කිරීමක් සතාසිවම්ගෙන් නොවන බැව් ද පැවසේ.

සතාසිවම් එකල බොහෝ විචාරකයන්ගේ නොමද ගෞරවයට ලක් වූ ක්‍රීඩකයෙක් විය. ඔහු ශ්‍රී ලංකාවට ගෙන දුන් කීර්තිය මිල කළ නොහැක. නමුත් මේ සියල්ල සමඟ ඔහුගේ කෙළිලොල් ජීවිතයත් සමඟ ආ අවාසනාව, වාසනාවට වඩා බලවත් විය. ඔහුට මීට අවුරුදු 69කට ඉහත මෙවැනිම මාසයක දී තම පළමු බිරිඳ ගෙල සිරකර මරා දැමුවේ යැයි චෝදනාවට ලක් විය. එය සතාසිවම්ගේ ක්‍රිකට් ජීවිතය පරාජය කළ මාතෘකාවක් බවට ද පත් විය. 

සතාසිවම්ගේ ජීවිතය ක්‍රිකට් වූව ද ඔහුගේ කෙළිලොල්, සුකුමාර ජීවිතය ගත කිරීමට තරම් ආදායමක් ඔහුට නොතිබුණි. ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන්ම ඔහු සමඟ බද්ධව ආ, නයිට් ක්ලබ්, මත්පැන්, බොල්රූම් ඩාන්ස් හේතුවෙන් සතාසිවම්ගේ දෛනික වියදම ඉතා ඉහළ අගයක් ගත්තේ ය. මෙය පසුකාලීනව විවාහ ජීවිතයට ද බලපෑවේ ය.

ඒ අතර ය, මේ මරණය සිදු වෙන්නේ. 

මියගිය සතාසිවම් මහත්මියගේ පාර්ශ්වයේ අය මේ නඩුව පවත්වා ගෙන යද්දී ඒ වන විට සතාසිවම් ලත් ක්‍රිකට් කීර්තියත් සමඟ වූ බලය සමඟින් නඩුවට වැඩි අවධානයක් යොමු විය. ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයක් ඇති කළ මිනීමැරුම් නඩු අතරින් අංක එකේ නඩුවක් වූ මේ නඩුව සඳහා විදෙස් නීති සහ වෛද්‍ය විශාරදයන්ගේ පවා උපදෙස් ලබා ගැනීමට ද සිදුව ඇත.

එකල සමාජයේ බොහෝ දෙනෙක්ගේ මතය වී ඇත්තේ සතාසිවම් මහත්මියගේ ඝාතනයට වගකිව යුත්තේ සතාසිවම් බව ය. ඒ කෙසේ වෙතත් නඩුව අවසන් වෙන්නේ සතාසිවම් නිදොස් කොට නිදහස් කරමින් වරදකාරයෙක් නොමැති නඩුවක් සේ ය. මේ තීරණය එකල සමාජයේ බොහෝ විවේචනයට ලක් විය. ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ සතාසිවම් වෙනුවෙන් ඔල්වරසන් දුන්න ද, අනෙක් ප්‍රජාව අතර අධිකරණය කෙරෙහි ඇති වූයේ බලවත් නුරුස්නා බවකි.

චෝදනාවලින් නිදහස් වූ සතාසිවම්ට සිය බිරිඳ සතුව තිබූ විශාල දේපළක් උරුම වූ බවත්, පසුව ඔහු ඒ සියල්ල විකුණා දමා තම දීර්ඝ කාලීන සුදු පෙම්වතිය සමඟ විවාහ වී රටින් පිටව ගිය බවත් සඳහන් වේ. මෙරට හැර යමින් සිංගප්පූරුවට සහ මැලේසියාවට යන ඔහු එම රටවල් දෙකේම ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට ක්‍රීඩා කරමින් එම රටවල් දෙකේ කණ්ඩායම් මෙහෙයවීමට ද සමත් වෙන්නේ ය. 

නමුත් මිනීමැරුම් චෝදනාව හේතුවෙන් හය මාසයකට වැඩි කාලයක් සිරගත ජීවිතයක් ගත කළ සතාසිවම්ගේ ක්‍රිකට් ජීවිතය එතැනින්ම නිමා විය. එය මෙරටට ක්‍රිකට් ඉතිහාසයට දරාගත නොහැකි පාඩුවක් විය. ඒ මෙරට ඉතිහාසයේ ඉහළින්ම කතා කිරීමට හැකියාව තිබූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අවාසනාවන්ත ලෙසින් අපට අහිමි වීම හේතුවෙනි. 

කීර්තියත්, අපකීර්තියක් දෙකම දරාගෙන තම ජීවිතයේ 61 වැනි විය ගතකරමින් සිටි 1977 ජුලි මාසයේ දී සතාසිවම් මෙලොව හැර යන්නේ ලොව බොහෝ ක්‍රීඩකයන්ට හැදෙන්නට පාඩම් රාශියක් තම ජීවිතයෙන් ලබා ගන්නට අවස්ථාව සලසමිනි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<