Java Lane සහ මාතර ක්‍රීඩකයින් ජයග්‍රාහීව 9 වැනි සතිය අවසන් කරයි

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

193

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 9 වැනි සතියේ දෙවැනි දිනයේ තරග 3ක් අද (14) කොළඹ සහ මහනුවර දී පැවැත්වුනා.

එහි දී Negombo Youth පරාජය කරමින් Java Lane ද, Saunders පරාජය කරමින් Matara City ද ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. Serendib සහ SLTB අතර පැවති තරගය නිමා වුනේ ජය පරාජයෙන් තොරවයි.

Negombo Youth FC සහ Java Lane

ගෝල 5-1ක් ලෙස මීගමුව ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Java Lane ක්‍රීඩකයින් සමත් වුනා.

ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය දිනා ගෙන සිටින Java Lane සහ සිව්වැනි ස්ථානයේ සිටින මීගමුව ක්‍රීඩකයින් අතර මෙම තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගාරම්භයෙන් මිනිත්තු 9ක් ගත වෙද්දී ලකුණු පුවරුවට පන පොවන්නට Java Lane නායක Mohamed Aleem සමත් වුනා. ඉන් අනතුරුව නවීන් ජූඩ් විසින් ලකුණු පුවරුව දෙගුණ කරමින් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ 26 වැනි මිනිත්තුවේ දීයි.

ඉන්පසුව ලකුණු පුවරුව වෙනස් කළ හැකි ගෝලයක් දෙපිලෙන්ම වාර්තා නොවූ අතර දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10ක් යන්නටත් පෙර Java Lane කණ්ඩායමට තෙවැනි ගෝලය එකතු කරන්නට Oluwaseeun Olawale සමත් වුනා. ඒ 52 වැනි මිනිත්තුවේ දී.

ඉන් අනතුරුව 68 වැනි මිනිත්තුවේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ ජූඩ් විසින් ලකුණු පුවරු 4-0ක් දක්වා ඔසවා තබන්නට සමත් වුනා. ඒ 68 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින්.

මෙතෙක් නිහඬව සිටි මීගමුව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා වන්නේ 70 වැනි මිනිත්තුවේ දීයි. එහි දී මීගමුව නායක නිලූක ජනිත් විසින් පන්දුව සාර්ථකය ගෝල රාමුව තුලට යොමු කරමින් ගෝලයක් වාර්තා කරන්නට සමත් වනවා.

නමුත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූ අතර ජූඩ් විසින් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගනිමින් අතිරේක මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරන්නේ ගෝල 5-1ක ජයග්‍රහණයක් වෙත Java Lane කැඳවා ගෙන යමිනුයි.

අවසන් ලකුණු තත්වය: Negombo Youth FC 1 – 5 Java Lane

ගෝල ලාභීන්:

  • Negombo Youth – නිලූක ජනිත් (70’)
  • Java Lane – Mohamed Aleem (9’), නවීන් ජූඩ් (26’, 68’, 90+1’), Oluwaseeun Olawale (52’)

Serendib SC සහ SLTB

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.

පළමු අර්ධයේ දී ම ලකුණු පුවරුව ආරම්භ කරමින් ගෝලයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල (SLTB) ක්‍රීඩක Shanmugaraja Sanjeev සමත් වුනා. ඒ 7 වැනි මිනිත්තුවේ දී.

එම අභියෝගයට සාර්ථකව පිළිතුරු දෙමින් Serendib ක්‍රීඩකයෝ ද ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා. ඒ 16 වැනි මිනිත්තුවේ දී. එම ගෝලය සඳහා හිමිකම් කීවේ Mohamed Issadeen.

ගෝල 1-1ක් ලෙස සමව නිමා වූ පළමු අර්ධයෙන් අනතුරුව දෙවැනි අර්ධයේ දී ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගන්නට Serendib ක්‍රීඩක Wijekumar Vignesh සමත් වුනා. ඒ 54 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව නැවත වරක් ලකුණු තත්වය සම මට්ටමට රැගෙන ඒමට SLTB ක්‍රීඩකයින් කටයුතු කරන්නේ 61 වැනි මිනිත්තුවේ දීයි. එම ගෝලය සඳහා හිමිකම් කීවේ Vijesindaram Yugesh විසිනුයි.

ඉන්පසුව, කණ්ඩායම් දෙකම ජයග්‍රාහී ගෝලය සඳහා වෙහෙස වුනත් තරගය නිමා වුනේ ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.

අවසන් ලකුණු තත්වය: Serendib SC 2 -2 SLTB

ගෝල ලාභීන්:

  • Serendib – Mohamed Issadeen (16’), Wijekumar Vignesh (54’)
  • SLTB – Shanmugaraja Sanjeev (7’), Vijesindaram Yugesh (61’)

Saunders SC සහ Matara City Club

සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි තරගය වූ මෙහි දී ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ Matara City Club ක්‍රීඩකයින් විසිනුයි.

ඉතාමත් තියුණු ලෙස කරට කර සටන් වැදුණු ක්‍රීඩකයින් අතරින් මාතර ක්‍රීඩක Boadu Prince විසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ 24 වැනි මිනිත්තුවේ දීයි.

පළමු අර්ධයේ වාර්තා වූ එකම ගෝලය එය වූ අතර දෙවැනි අර්ධයේ දී ක්‍රියාත්මක වූ Larbi Prince විසින් 49 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා.

තරගයේ අවසානයට ආසන්නයේ දී එනම් 81 වැනි මිනිත්තුවේ දී මාතර ක්‍රීඩක රුසිරු ලක්මාල් අතින් සිදු වූ අත්වැරදීමකින් Own Goal අවස්ථාවක් වාර්තා වූ අතර Saunders හට තරගයේ හිමි වූ එකම ගෝලය වූයේ එයයි.

අවසන් ලකුණු තත්වය: Saunders SC 1 – 2 Matara City Club

ගෝල ලාභීන්:

  • Saunders – Boadu Prince (24’), Larbi Prince (49’), රුසිරු ලක්ෂාන් OG (81’)

ශූරයින්ගේ ලීගයේ 9 වැනි සතියේ අවසන් තරගය එළඹෙන 17 වැනිදා St. Mary’s SC සහ Crystal Palace FC අතර කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<