සෙනිත හැළඹගේ ධර්මාශෝකයේ ගැලවුම්කරු වේ

59
55th Battle of the Blues Day 2

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර 55 වැනි වරටත් පැවැති “සුනිල සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා.

ඒ අනුව සුනිල සංග්‍රාම ඉතිහාසයේ විසඳුමකින් තොරව නිමා වූ 41 වැනි තරගය ලෙසින් එය වාර්තා පොත් අතරට එක් වෙද්දී, ආසන්නත ම වසරේ ජයග්‍රාහකයන් වූ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට තව දුරටත් සුනිල කුසලානය තබා ගැනීමේ අවස්ථාව හිමි වූවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මාශෝක විද්‍යාලය ලකුණු 94කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී දේවානන්ද විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 231ක් ලබා ගත්තා. අනතුරුව ලකුණු 137ක් පිටු පස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නිමා වන විට කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 285ක් ලබා සිටියා.

තරගයේ පළමු දිනයේ දී සියලු ගෞරව ලබා ගැනීමට සත්කාරක ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූව ද දෙවැනි දිනයේ දී සියලු ගෞරව ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන් සතු කර ගැනීම කැපී පෙණුනා.

එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයා වූයේ කණ්ඩායමේ උප නායක සෙනිත හැළඹගේ යි.

Battle of the Blues, අම්බලන්ගොඩ, 30-31 මාර්තු 2024

o කාසියේ වාසිය – ශ්‍රී දේවානන්ද විද්‍යාලය

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මාශෝක විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 94ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 149ක් ලබා ප්‍රබල තත්ත්වයේ පසු වූවා.

ඒ වෙද්දී ආරම්භක පිතිකරුවන් වූ මයුර මල්ෂාන් (70) සහ දනිඳු ඉනෝෂ (42) දැවී ගොස් තිබූ අතර පිටියේ නොදැවී රැදී සිටියේ රවිඳු ද සිල්වා සහ සවින් තියුනුවන් යන දෙදෙනායි.

මන්දගාමී ඉනිමක් ගොඩ නැගූ ඔවුන් දෙදෙනා අතුරින් රවිඳු ද සිල්වා තෙවැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

කණ්ඩායමේ උප නායක චමෝද් චන්දූපගේ ඉනිම ලකුණකට සීමා කිරීමට ධර්මාශෝක පන්දු යවන්නෝ සමත් වූයේ ශ්‍රී දේවානන්දයේ ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 166ක් බවට පත් කරමිනුයි.

එතැන් සිට 5 වැනි කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් එක් කිරීමට සවින් තියුනුවන් සහ සිතුම් විහඟ සමත් වූවා. සිතුම් විහඟ පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා සිටිය දී ඉනිම හැර යද්දී ශ්‍රී දේවානන්ද ඉනිම දැක් වුනේ කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලෙසයි.

ඒ සුනංගුවෙන් ම තවත් කඩුලු 2ක් පන්දු 5ක් තුළ ලකුණක් පමණක් ලබා දෙමින් දවා ගත් ධර්මාශෝක පන්දු යවන්නෝ ගොඩ නැගෙමින් තිබූ ශ්‍රී දේවානන්ද ඉනිමේ ලකුණු පුවරුවේ ක්‍රියාකාරීත්වය මදක් අඩාල කළා.

දැවී ගිය ඒ පිතිකරුවන් අතරට එතෙක් පිටියේ නොදැවී රැදී සිටි සවින් තියුනුවන් ද ඇතුලත් වූවා. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු ප්‍රමාණය 19ක්.

අනතුරු ව පසු පෙළින් පිටියට පිවිසි විහඟ මලිත් පන්දු 43කට මුහුණ දෙමින් ලකුණු 22ක් ලබා ගත්තා. ඒ සියල්ල ම ගේ ලකුණු එකතුවත් සමඟින් ශ්‍රී දේවානන්ද ඉනිම දිවා විවේකයට පෙර අවසන් වූයේ සියලුම දෙනා දැවී ලකුණු 231ක් ලෙසිනුයි.

කඩුලු දවා ගැනීමේ දී ඉෂාන් අනුරාධ, සෙනිත හැළඹගේ, ජිතිර සන්සික සහ පැතුම් මලිත් කඩුලු 2ක් බැගින් දවා ගත් අතර විශ්ව දිමුතුට ද කඩුල්ලක් හිමි වූවා.

ලකුණු 137ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු ඉනිමේ කළ වැරදි නිවැරදි කර ගනිමින් සටන්කාමී ඉනිමක නිරත වෙන්නට වග බලා ගත්තා. එහි සම්පූර්ණ ගෞරවය හිමි වූයේ උප නායක සෙනිත හැළඹගේ වෙතයි. ඔහු තරගය අවසන් වන විට පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 148ක් ලබා සිටියා.

මෙම ඉනිම සුනිල සංග්‍රාමය ඉතිහාසයට එක් වූයේ ශතක එක් කළ පළමු පිය – පුතු දෙදෙනා ලෙසයි.  සෙනිත ගේ පියා වූ ප්‍රේමසිරි හැළඹගේ 1981 වසරේ දී නොදැවී ලකුණු 143ක් ලබා  ගනිමින් එහි ඉතිහාසයට එක් ව සිටියා.

සෙනිත හැළඹගේ තම අර්ධ ශතකය පන්දු 50ක දී වාර්තා කරන ලද අතර ඊළඟ අර්ධ ශතකය වෙනුවෙන් ඔහු තවත් පන්දු 72ක් වැය කළා. සෙනිත් හැළඹගේ විසින් මෙම ශතකය වාර්තා කරන්නේ සුනිල සංග්‍රාම ඉතිහාසයේ වසර 7කට පසුවයි. දෙවිදුහල් අතුරින් අවසන් වරට ශතකයක් වාර්තා වී තිබුණේ 2016 වසරේ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ අමිඳු උදාර ගේ පිත්තෙනුයි.

සෙනිත හැළඹගේ ගේ මෙම ශතකය ධර්මාශෝකය වෙනුවෙන් වාර්තා වෙන්නේ වසර 8කට පසුවයි. ඔවුන් වෙනුවෙන් අවසන් වරට ශතකයක් වාර්තා කර තිබුණේ 2015 වසරේ දී කසුන් මධුරංග විසිනුයි.

සෙනිත හැළඹගේ ගේ මෙම ගමනේ දී ආකාශ් මෙන්ඩිස් හා එක් වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාක් ද එක් කළා. ආකාශ් මෙන්ඩිස් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

ඊට අමතර ව ජිතිර සන්සික හා එක් ව 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 93ක සබඳතාවක් ද ගොඩ නැගීමට සෙනිත හැළඹගේ සමත් වූවා. ජිතිර සන්සික පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

අනතුරු ව චනුක ද සිල්වා සමඟ 5 වැනි කඩුල්ලට ද ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට සෙනිත හැළඹගේ සමත් වූවා. චනුක ද සිල්වා පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඉනිම ආරම්භ කළ නායක රන්දුල් සමරහේවා ද පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සඳලු රශ්මික ලකුණු 60කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඉතිරි කඩුලු ද්විත්වය මිනිඳු ඔෂද සහ රවිඳු ද සිල්වා අතර බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ධර්මාශෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 94 (36.1) සෙනුර සඳයුරු 31, පැතුම් මලිත 14, විහඟ මලිත් 3/12, මිනිඳු ද සිල්වා 5/34

ශ්‍රී දේවානන්ද විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 231 (78.4) මයුර මල්ෂාන් 70, දනිඳු ඉනෝෂ 42, රවිඳු ද සිල්වා 30, සවීන් තියුනුවන් 19, සිතුම් විහඟ 23, විහඟ මලිත් 22,   පැතුම් මලිත 2/60, සෙනිත හැළඹගේ 2/40, ජිතිර සන්සික 2/58, ඉෂාන් අනුරාධ 2/28

ධර්මාශෝක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 285 (62.0) රන්දුල් සමරහේවා 24, ආකාශ් මෙන්ඩිස් 37, සෙනිත හැළඹගේ නොදැවී 148, ජිතිර සන්සික 36, චානුක ද සිල්වා 27, සඳලු රශ්මික 3/60

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – දනිඳු ඉනෝෂ (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මිනිඳු ද සිල්වා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – සෙනිත හැළඹගේ (ධර්මාශෝක විද්‍යාලය)
  • තරගයේ වීරයා – සෙනිත හැළඹගේ (ධර්මාශෝක විද්‍යාලය)

දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය හෙට (02) අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<