Saunders දැවැන්ත ජයග්‍රහණයට Nireshගෙන් ගෝල 3ක්!

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

207

සතිපතා උණුසුම වන මෙරට ප්‍රමුඛ පෙළේ පාපන්දු තරගාවලියක් වන ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි සතිය අදින් (25) ආරම්භ වුනා.

දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් අද තරග 4ක් පැවති අතර එහි දී Matara City Club, Negombo Youth, Saunders ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වෙද්දී, New Star සහ St. Mary’s අතර තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුනා.

Matara City Club සහ Moragasmulla SC

ගෝල 2-1ක් ලෙස මාතර කොටවිල ක්‍රීඩා පිටියේ දී නිමා වූ මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනේ Matara City ක්‍රීඩකයින් විසිනුයි.

තරගාරම්භයෙන් මිනිත්තු 10ක් යන්නටත් මත්තෙන් ක්‍රියාත්මක වූ මාතර ක්‍රීඩකයින් ළඟ ළඟ ගෝල දෙකක් වාර්තා කරන්නට සමත් වුනා. 8 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් වාර්තා වූ ගෝලයේ හිමිකම මාතර ක්‍රීඩක Boadu Prince සතු වුනා.

ඉන් මිනිත්තු කිහිපයක් යන විට සිය ලකුණු පුවරුව දෙගුණ කරන්නට මාතර ක්‍රීඩක අවින් කනිශ්ක සමත් වුනේ 11 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් දැල් ගත කරමින්.

එම ගෝල ද්විත්වයට ප්‍රතිඋත්තර බඳින්නට මොරගස්මුල්ල ක්‍රීඩකයින් සමත් වුනේ 18 වැනි මිනිත්තුවේ දීයි. ඒ් ගෝලය සඳහා එරන්ද ප්‍රසාද් හිමිකම් කී අතර ප්‍රථම අර්ධය නිමා වුනේ ගෝල 2-1ක් ලෙස මාතර ක්‍රීඩකයින් පෙරමුණ ගනිමින්.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් කරට කර සටනක නියැළුණු අතර කිසිවෙකු ගෝල වාර්තා කරන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Matara City Club 2 -1 Moragasmulla SC

ගෝල ලාභීන්:

  • Matara – Boadu Prince (8’), අවින් කනිශ්ක (11’)
  • Moragasmulla – එරන්ද ප්‍රසාද් (18’)

Negombo Youth FC සහ Crystal Palace FC

ගාල්ලේ දී නිමා වූ මෙම තරගයෙන් ගෝල 3-2ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට මීගමුව ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා වුනේ තරගාරම්භයෙන් මිනිත්තු 26කට පමණ පසුවයි. Anthony Ikwegbuo විසින් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කර ගත් එම ගෝලයෙන් පසුව ඊට පෙරළා ගෝලයක් වාර්තා කරන්නට ප්‍රතිවාදී Crystal Palace ක්‍රීඩකයින් සමත් වුනේ 35 වැනි මිනිත්තුවේ දීයි. එම ගෝලයේ හිමිකරු වුනේ බාසිත් අහ්මඩ්.

ඉන්පසුව පළමු අර්ධය අවසන් වීමට මොහොතක් වන තෙක් 1-1ක් ලෙස ලකුණු පුවරුව සම මට්ටමක පැවතියත්, Ikwegbuo විසින් සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් මීගමුව ක්‍රීඩකයින් ගෝල 2-1ක් ලෙස පෙරමුණට රැගෙන ආවා.

දෙවැනි අර්ධයේ දී ද කණ්ඩායම් දෙකම දැඩි ගෝල සටනක නිරත වී සිටි අතර දෙවැනි අර්ධය ආරම්භ වී සුළු මොහොතකින් නැවතත් ලකුණු පුවරුව සම කරන්නට Crystal Palace ක්‍රීඩකයින් සමත් වුනා. ඒ 48 වැනි මිනිත්තුවේ දී Jimoh Ibrahim විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනි.

කෙසේ නමුත් තරග අවසානයට පෙර මීගමුව ක්‍රීඩකයින් පෙරට රැගෙන ඒමට ක්‍රීස්ටීන් ප්‍රනාන්දු සමත් වුනේ 85 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමිනි. එම ගෝලයත් සමඟින් තරගය නිමා වුනේ ගෝල 3-2ක් ලෙස මීගමුව ක්‍රීඩකයින්ට තරගයේ ජයග්‍රහණය හිමිවෙමින්.

අවසන් ලකුණු තත්වය: Negombo Youth FC 3 – 1 Crystal Palace FC

ගෝල ලාභීන්:

  • Negombo Youth – Anthony Ikwegbuo (26’, 45+2’), ක්‍රීස්ටීන් ප්‍රනාන්දු (85’)
  • Crystal Palace – බාසිත් අහ්මඩ් (35’), Jimoh Ibrahim (48’)

Saunders SC සහ Serendib SC

ගෝල 5ක ලකුණු පුවරුවක් සමඟින් අවසන් වූ මෙම තරගයෙන් Serendib ක්‍රීඩකයින් පරාජය කරමින් ගෝල 5-1ක ජයග්‍රහණයක් ලබා ගන්නට Saunders ක්‍රීඩකයින් සමත් වුනා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වුනේ Saunders ක්‍රීඩකයින් විසින් ගෝල 3ක් වාර්තා කරමින්. එම ගෝල අතරින් පළමු ගෝලය වාර්තා කරන්නට Sundaraj Niresh සමත් වුනේ 15 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව 21 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ ඔහු Saunders ලකුණු පුවරු දෙගුණ කරන්නට සමත් වුනා.

පළමු අර්ධයේ වාර්තා වූ අවසන් ගෝලය වාර්තා කරන්නට පැතුම් ගිම්හාන සමත් වුනේ 31 වැනි මිනිත්තුවේ දීයි.

දෙවැනි අර්ධය ආරම්භ වී 71 වැනි මිනිත්තුවේ දී Sundaraj සිය ගෝල 3 Hattrick අවස්ථාව සපුරා ගන්නට සමත් වුනේ සිය කණ්ඩායමේ ගෝල ගණන 4ක් දක්වා ඉහළ දමමිනුයි.

කෙසේ නමුත් එතෙක් වේලා නිහඬව සිටි Serendib ක්‍රීඩකයින් ද ගෝලයක් සමඟින් තරගයට පිවිසෙන්නට 78 වැනි මිනිත්තුවේ දී උත්සාහ කළා. එම ගෝල Asante Evans සතු වූ නමුත් Saunders ක්‍රීඩකයින් තරගය නිමා වී අතිරේක මිනිත්තුවේ ද ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා.

නාලක කංනන්ගර විසින් වාර්තා කළ එම ගෝලයත් සමඟින් ගෝල 5-1ක් ලෙස සුපිරි ජයක් ලබා ගන්නට Saunders ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Saunders SC 5 – 1 Serendib SC

ගෝල ලාභීන්:

  • Saunders – Sundaraj Niresh (15’, 21’, 71’), පැතුම් ගිම්හාන (31’), නාලක කංනන්ගර (90+6’)
  • Serendib – Asante Evans (78’)

News Star SC සහ St. Mary’s SC

දිනයේ ජය පැරදුමෙන් තොරව නිමා වූ එකම තරගය වූ මේ තරගය කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දී අවසන් වුනේ ගෝල 1-1ක් ලෙසෙයි.

තරගයේ පළමු අර්ධය තුල කිසිදු ගෝලයක් වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් අසමත් වූ අතර දෙවැනි අර්ධයේ දී ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට St. Mary’s නායක Mariyathas Nitharsan සමත් වුනා. ඒ 54 වැනි මිනිත්තුවේ දී.

එම අභියෝගයට සාර්ථකව අභියෝග කරමින් ලකුණු පුවරුව සම මට්ටමට රැගෙන එන්නට New Star ක්‍රීඩක නදීක පුෂ්පකුමාර සමත් වුනේ 71 වැනි මිනිත්තුවේ දීයි. කෙසේ නමුත් ඉන්පසුව කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට අසමත් වූ අතර තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.

අවසන් ලකුණු තත්වය: News Star SC 1 – 1 St. Mary’s SC

ගෝල ලාභීන්:

  • News Star – නදීක පුෂ්පකුමාර (71’)
  • Mary’s – Mariyathas Nitharsan (45’)

තරගාවලියේ සිව්වැනි සතියේ අවසන් දිනය හෙට (26) පහත පරිදි ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<