ප්‍රබල රටක් ඔලිම්පික් උළෙලෙන් ඉවත් වෙයි

304

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇති ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි නොවී තරගාවලියෙන් ඉවත් වීමට උතුරු කොරියාව තීරණය කර ඇත.

ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන ඔලිම්පික් තරගාවලිය අවසන් වරට 2016 වසරේ බ්‍රසීලයේ දී පැවති අතර පසුගිය වසරේ ජපානයේ දී පැවැත්වීමට තිබූ මීළඟ තරගාවලිය කොරෝනා වසංගතය නිසා මේ වසර දක්වා කල්දැමුවා.

නමුත් ජපානය තුළ නැවතත් කොරෝනා වසංගතය හිස ඔසවා තිබීම නිසා තරගාවලිය නැවත වරක් කල්යනු ඇතැයි විවිධ මත පළවූවද, තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බව ජපන් ඔලිම්පික් බලධාරීන් ප්‍රකාශ කළා.

එනමුත් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙවර ඔලිම්පික් උළෙල සඳහා ඔවුන් සහභාගී නොකරන බව උතුරු කොරියාව පසුගිය දා ප්‍රකාශ කර සිටියා.

පසුගිය මාර්තු 25 වැනිදා පැවති උතුරු කොරියානු ක්‍රීඩා අමාත්‍යාංශ රැස්වීමේ දී මෙම තීරණය ගත් බව ඔවුන්ගේ ක්‍රීඩා අමාත්‍යාංශය වෙබ් අඩවියේ සටහන් කර තිබුණා.

ඒ අනුව 1984 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙල සහ 1988 සීතල යුද්ධ සමයේ Seoul හී පැවති ඔලිම්පික් උළෙල වර්ජනයෙන් පසුව උතුරු කොරියාව සහභාගි නොවන පළමු ඔලිම්පික් තරගාවලිය මෙයයි.

තවත් ක්‍රීඩා පුවත්:

කෙසේ නමුත් උතුරු කොරියාව මෙම ඔලිම්පික් උළෙල සඳහා සහභාගී නොවන බව තවමත් නිල වශයෙන් දැනුවත් කර නොමැති බව ජපාන ඔලිම්පික් කමිටුව නිවේදනය කර තිබුණා.

අවසාන වශයෙන් දකුණු කොරියාවේ පැවති 2018 ශීත ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාව තරගකරුවන් 22ක්, නිලධාරීන් සහ සිය මාධ්‍යවේදීන් කිහිපයක් පිටත් කර යැවීම කැපී පෙනෙන සිදුවීමක් වුනා.

බොහෝ බාධක මධ්‍යයේ මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති 32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලිය ජූලි 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<