ඉන්දියාවට දැමූ වැඩකිඩ නිසා චමීර සහ වනිඳු ඉදිරියටම

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

678

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස ලෝක පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තවත් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ නිමා වූ ඉන්දීය තරගාවලිය තුල දැක්වූ දස්කම් නිසයි.

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 37 වැනි ස්ථානයේ පසුවුණු චමීර තරගාවලිය තුල තරග තුනකට ක්‍රීඩා කරමින් ලකුණු 63කට කඩුලු 4ක් දවා ගත්තා. එහි දී ඔහු විසින් එක් පන්දුවාරයකට දල වශයෙන් 5.25ක පමණ ඉතාමත් හොඳ අවම මට්ටමේ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් වෙත ලබා දී තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ දස්කම් නිසාවෙන් ශ්‍රේණිගත කිරීම්වල 37 වැනි ස්ථානයේ සිට පියවර 19ක් ඉදිරියට පැමිණෙමින් 18 වැනි තැන හිමිව තිබෙන චමීරට ඒ සඳහා ප්‍රසාද ලකුණු 555ක් ලැබී තිබෙනවා. එය මෙතෙක් ඔහුගේ ක්‍රිකට් දිවියේ ලබාගෙන තිබෙන හොඳම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ප්‍රසාද ලකුණු ප්‍රමාණය ද වෙනවා.

මෑත කාලය තුල විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ඉතාමත් වේගයෙන් ඉදිරියට පැමිණි වනිඳු මේ වන විට එහි දෙවැනි තැන පසුවෙනවා. ඉන්දීය සංචාරයේ පැවති තරග තුනේ දී ඔහු ලකුණු 67කට කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඒ නිසාවෙන් ඔහුට තවත් ප්‍රසාද ලකුණු 44ක් හිමිව තිබෙනවා.

ඒ අනුව මුළු ප්‍රසාද ලකුණු 764ක් ලබා ගනිමින් සිය හොඳම ප්‍රසාද ලකුණු ලබා ගැනීම නැවත වරක් අලුත් කර ගත් වනිඳු ලොව දැනට හොඳම විස්සයි විස්ස පන්දු යවන්නා වන Tabraiz Shamsiට වඩා තවත් ප්‍රසාද ලකුණු 28ක් පසුපසින් පසුවනවා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග තුනක් ද ඇතුළත් වන අතර එම තරගාවලිය අවසානයේ දී වනිඳු හසරංග සහ Tabraiz Shamsi අතර ඉතාමත් උණුසුම් සටනක් දැක ගැනීමට ප්‍රේක්ෂකයින් හට අවස්ථාවක් ලැබෙනු නිසැකය.

තරග කාලසටහන:

  • පළමු එක්දින තරග – සැප්තැම්බර් 2
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 4
  • තෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 7
  • පළමු විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 10
  • දෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 12
  • තෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 14

ICC නව පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ හොඳම ස්ථානයන් 18 පහත පරිදි වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<