මොකද්ද මේ භෞත චිකිත්සාව? ක්‍රීඩකයෙකුට එය අත්‍යාවශ්‍ය නොවේ?

211

භෞත චිකිත්සාව යන නම ඇසූ පමණින් අප බොහෝ දෙනෙකු පුදුම නොවන්නේ මෙම ක්‍රමය හරහා බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබා තිබෙන නිසාවෙනි. ඔබ ද සමහර විට භෞත චිකිත්සා ප්‍රතිකාර ලබා තිබිය හැකි. ඖෂධවලින් ඇතිවිය හැකි අතුරු ආබාධ වළක්වා ගැනීම මෙන්ම ශල්‍යකර්මවලට මුහුණ දීමෙන් තොරව ආබාධ සුවකර ගැනීමට ද මෙය ඉවහල් වේ.

විශේෂයෙන් පාසල් ක්‍රීඩකයින්ට සිදුවන සුළු ආබාධ තත්වයන්ට නිසි උපදෙස් නොමැතිව  ප්‍රතිකාර ගැනීම, නගර ආශ්‍රිත නොවන පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් භෞත චිකිත්සාව පිළිබඳව එතරම් දැනුවත් නොවී දිගටම ප්‍රතිකාර නොගෙන ක්‍රීඩාවේ යෙදීමෙන් මුළු ක්‍රීඩා දිවියෙන්ම වන්දි ගෙවා ක්‍රීඩාව අතහැර දමන අවස්ථා අප දැක ඇත. ඇතැම් විට එය කොළඹ හා නගර ආශ්‍රිත ක්‍රීඩක ක්‍රීඩිකාවගෙන් ද දැක ගැනීමට හැකි වී ඇත්තේ මෙම විෂය පිළිබඳ අප රටේ එතරම් දැනුවත් භාවයක් නොමැති නිසාවෙනි.

භෞතචිකිත්සාව අවශ්‍ය ග්‍රාමීය ප්‍රදේශවල ළමුන්, ක්‍රීඩකයන්, වැඩිහිටියන් මේ පිළිබඳව නොදන්නා නිසාත්, මේ පිළිබඳව නාගරික පුද්ගලයන්ගේ නොසැලකිලිමත්කම නිසාත් බොහෝ අනවශ්‍ය ගැටලුවලට මුහුණ දෙයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේම සාමාන්‍ය පුද්ගලයන්ට ද ඉතා වැදගත් විෂයක් වන භෞත චිකිත්සාව පිළිබඳව දැනුවත් කිරීම අමුණු කර ගනිමින් ThePapare.com ඔබ වෙත ගෙන එන ලිපි මාලාවේ ආරම්භක ලිපියයි මේ.

1. භෞතචිකිත්සාව යනු කුමක් ද?

මෙය බටහිර වෛද්‍ය ක්‍රමයකි. මූලික භෞතික ශක්ති ප්‍රභේදයක් වන තාපය, විද්‍යුතය, චුම්බකත්වය සහ නොයෙකුත් චිකිත්සක ව්‍යායාම (therapeutic exercises) හා විවිධ හැසිරවීම් ක්‍රම (Manipulation Procedure) වලින් මෙම ප්‍රතිකාර ක්‍රමය සමන්විතයි. එසේම නිරෝගී දිවියක් ගත කිරීමට අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් ද මෙම ක්‍රමයට ඇතුළත්. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරන්නේ රෝගියා පිළිබඳ සම්පූර්ණ අධ්‍යනයක් කිරීමෙන් පසුවයි.

යම් කායික රෝගයකින් පෙළෙන පුද්ගලයකුට එය සුවපත් කර ගැනීමට හා එමගින් ඇතිවන මානසික ගැටලුවලින් අත්මිදීමට ද (Cure), එවැනි ශාරීරික ආබාධයකින් පුද්ගලයකු පෙර සිටි පරිදි යථාතත්වයට පත් කර ගැනීමට ද (Rehabilitation), එදිනෙදා ජීවිතයේ දී උපරිම ස්වාධීනත්වයකින් තම කටයුතු ඉටු කර ගැනීමට ද (Maximum level of independents), එදිනෙදා මුහුණ දෙන වැරදි ඉරියව් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් නුදුරු අනාගතයේ දී බරපතළ රෝගී තත්වයන්ට පත්වීම වැළැක්වීමට ද (Prevention) මෙම ප්‍රතිකාර ක්‍රමයට හැකියි.

උදාහරණයක් ලෙස, ක්‍රිකට් ක්‍රීඩකයකු වැරදි ඉරියව්වකින් වේගපන්දු යැවීමට හුරුවී සිටීම ගනිමු. වැරදි ඉරියව් යනු ඔහුගේ මාංශපේශි හා අස්ථිවල ආබාධයක් ඇතිවීමට හැකි ඉරියව් විය හැකි. බොහෝ විට ශ්‍රී ලංකාවේ එම වැරදි ඉරියව් සොයාගන්නේ ජාතික සංචිතයකට තේරුණු පසුයි. එම සංචිතවල භෞත චිකිත්සකවරු සිටියත් අප රටේ බොහෝ පාසල් ක්‍රීඩා ආශ්‍රිතව එවැනි උපදේශකයන් දක්නට නොලැබෙයි.

වසර ගණනක් පාසලේ සිට වැරදි ඉරියව්වකින් පන්දු යැවීම ඔහුගේ ක්‍රීඩා දිවියේ ආබාධ වැඩි වීමට හේතු විය හැකි. අප එය වර්තමානයේ බොහෝ විට තරුණ ක්‍රීඩකයන්ගෙන් දක්නට හැකි. මෙය මලල ක්‍රීඩකයෙකුට වගේම ඕනෑම ක්‍රීඩාවක යෙදෙන ක්‍රීඩකයෙක්ට අදාළ කාරණාවකි. නමුත් දියුණු රටවල මෙම තත්වය මීට වඩා වෙනස් වන්නේ කුඩා කාලයේ සිටම ඔවුන් භෞත චිකිත්සක ප්‍රතිකාර පිළිබඳ දැනුවත් වී සිටීම නිසාවෙනි.

 

මෙම භෞත චිකිත්සා විෂයේ සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවකට උපදෙස් ප්‍රතිකාර ලබාගත හැකි ක්‍රම කිහිපයකි. ක්‍රීඩාවේ යෙදෙන්නෙක්ට තම ක්‍රීඩාව අනුව කුඩා කාලයේ සිටම පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කර තමන්ගේ ශරීරය අනුව සුදුසු ඉරියව්, පුහුණුවීමේ කාලය හා වැඩියෙන් ශක්තිමත් කර ගත යුතු අස්ථි හා මාංශ පේශි හා ශරීරයේ දුර්වල ස්ථානයන් භෞත චිකිත්සා පරීක්ෂාවක් අනුව තීරණය කළ හැකි ය. එය ක්‍රීඩකයෙක්ගේ දිගුකාලීන පැවැත්මට ඉතා වැදගත් වනු ඇත.

2. ආබාධයක් වූ පසු භෞත චිකිත්සක ක්‍රම අනුව Light ඇල්ලීමෙන්, current ඇල්ලීමෙන් අතුරු ආබාධ නැද්ද?

යම්කිසි ආකාරයකින් සාමාන්‍ය පුද්ගලයකු හෝ ක්‍රීඩකයකු ආබාධයකට හෝ රෝගී තත්වයකට පත්වූ පසු මෙම ප්‍රතිකාර ක්‍රම යොදා ගනී. light ඇල්ලීම, current ඇල්ලීම කියූ සැණින් බොහෝ දෙනෙකුට සිහියට එන්නේ වර්තමානයේ පිළිකා රෝගීන් සඳහා කරනු ලබන ප්‍රතිකාරයි.

එම ප්‍රතිකාරවලින් නොයෙකුත් අතුරු ආබාධ ඇති විය හැකි නිසා බොහෝ දෙනෙකු තුල ඒ පිළිබඳ ඇත්තේ බියක් හා අප්‍රසාදයකි. නමුත් භෞත චිකිත්සාවේ දී සිදු කරන light ඇල්ලීම, current ඇල්ලීම වෙනස් එකකි.

ඇතැම් රෝග තත්වයන් සඳහා කාර්යක්ෂමව ප්‍රතිකාර කිරීමට එහි උෂ්ණත්වය වැඩි කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා ‘Infrared Lamp’, ‘short wave’ ‘Diathermy’ සහ ‘wet bath’ වැනි ක්‍රමවේද රෝගියාට සරිලන පරිදි යොදා ගනී. බොහෝ දෙනා ලයිට් ඇල්ලීම යනුවෙන් අදහස් කරන්නේ ඉහත සඳහන් කළ infrared ප්‍රතිකාර ක්‍රමයටයි.

current ඇල්ලීම යනු මිලිඇම්පියර් (mA) වැනි කුඩා ධාරාවකින් විද්‍යාත්මක හා චිකිත්සක ක්‍රමවේදයක් භාවිතා කරමින් ප්‍රතිඵල ලබා ගැනීමයි. මේ ප්‍රතිකාර සුදුසුකම් ලත් භෞත චිකිත්සකවරයෙකුගෙන් පමණක් ලබා ගැනීමට රෝගීන් දැනුවත් විය යුතුයි. එය රෝගියාගේ ආරක්ෂාවට ඉතා වැදගත්.

 

3. භෞත චිකිත්සා ප්‍රතිකාර ක්‍රමය ලබාගත හැකි වයස් කාණ්ඩ මොනවාද?

කායික රෝගයක් ඇතිවීමට වයස් සීමාවක් නැත. එනිසා භෞත චිකිත්සක ප්‍රතිකාර බාල තරුණ මහලු යන ඕනෑම වයස් කාණ්ඩයකට ලබා ගත හැකි අතර එමගින් ඇතිවන මානසික සංකූලතා මග හරවා ගත හැක. බොහෝ විට ක්‍රීඩකයෙකුට කුඩා හෝ ශරීරයේ වේදනාවක් තබාගෙන ක්‍රීඩා කිරීමෙන් තමන්ගේ උපරිම දක්ෂතාවලට යාමට නොහැකි වේ. එය වළක්වා ගෙන ඉදිරියට යාමට ක්‍රීඩක ක්‍රීඩිකාවකට මෙම භෞත චිකිත්සාව අතිශයින් වැදගත්.

4. භෞතචිකිත්සාව අවශ්‍ය කායික රෝග අංශ මොනවාද?

  • උපතේ සිට මරණය දක්වාම පහත දැක්වෙන රෝග සඳහා භෞතචිකිත්සාව යොදා ගැනේ.
  • කුඩා ළමුන් සම්බන්ධ රෝගී තත්වයන්
  • ආඝාතය (Stroke) වැනි ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගී තත්වයන්
  • සුෂුම්නා ආබාධ තත්වයන්
  • ඕනෑම ස්නායු ආබාධිත තත්වයක්
  • විකලාංග රෝගාබාධ තත්වයක්
  • ක්‍රීඩා අනතුරු
  • පිළිස්සුම් තුවාල නිසා ඇතිවන සංකුලතා
  • පේශි හා ඛණ්ඩරා ආශ්‍රිත ගැටලු
  • ගර්භණී මව්වරුන්ට ඇතිවන සංකුලතා
  • පෙනහළු ආශ්‍රිත රෝගාබාධ
  • ස්නායු හා අනෙකුත් ශල්‍යකර්මයන්ගෙන් පසු
  • මහලුවිය ආශ්‍රිත රෝගාබාධ නිසා
  • රක්තවාතවේදී රෝගාබාධ සඳහා
  • හෘද ආශ්‍රිත රෝගාබාධ හා හෘද ශල්‍යකර්මවලින් පසු ඇතිවන සංකුලතා සඳහා
  • කර්ණෂංකය ආශ්‍රිතව ඇතිවන සමබරතාව ආශ්‍රිත ගැටලු සඳහා

භෞත චිකිත්සාවේ දී යම් පුද්ගලයෙකුගේ යම් ස්ථානයක් හෝ පද්ධතියක් ගැන පමණක් අවධානය යොමු නොකර පූර්ණ පුද්ගලයාම අධ්‍යනය කරයි (Holistic approach). එනම් උදාහරණයක් ලෙස යම් පුද්ගලයකු හෝ ක්‍රීඩකයෙකු හදිසි අනතුරකින් පාදයේ අස්ථි බිඳීමකට ලක්වුවහොත් එය ශල්‍යකර්මයකින් නිවැරදි කළ යුතුයි.

ඒ සඳහා යම් කාලයක් විවේකයෙන් ගත කළ යුතු ය. එවිට ඔහුගේ පාදයේ මාංශ පේශීන් පමණක් නොව මුළු ශරීරයේම මාංශ පේශීන් දුර්වල වීමකට ලක්වෙයි. එවිට එම රෝගියාට ශල්‍යකර්මයට අමතරව ශරීරයේ මාංශපේශි යථාතත්වයට පත් කිරීම ව්‍යායාම මගින් සිදු වේ. එවිට ඔහු යොමු කරන්නේ භෞත චිකිත්සක ප්‍රතිකාරවලටයි.

5. ශ්‍රී ලංකාවේ සුදුසුකම් ලත් භෞත චිකිත්සකවරයකු සොයා ගන්නේ සහ නිවැරදි භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගත හැක්කේ කෙසේ ද?

භෞත චිකිත්සක ප්‍රතිකාර සියලු රජයේ මහා රෝහල් සහ ඇතැම් මූලික රෝහල්වලින් ද, පෞද්ගලික රෝහල්වලින් ද ලබා ගත හැක. තවද මෙම ප්‍රතිකාර පෞද්ගලික හෝ රජයේ රෝහල්වලින් ලබා ගැනීමේ දී සුදුසුකම්ලත් භෞත චිකිත්සකවරයෙකුගෙන් ලබා ගැනීමට රෝගියා සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව ඇතැම් වෙනත් වෘත්තිකයන් භෞත චිකිත්සකයන් ලෙස හැසිරීම හා භෞත චිකිත්සක ප්‍රතිකාර අත්හදා බැලීමේ නව ප්‍රවණතාවක් පවතී.

මෙමගින් හානි සිදුවන්නේ රෝගියාටයි. එමනිසා නැවත වරක් විශේෂයෙන් මතක් කළ යුතු කාරණය වන්නේ භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට පෙර වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෘත්තිකයෙකු සම්බන්ධ කර ගත යුතු අතර ඕනෑම අවස්ථාවක ඔහුගේ ලියාපදිංචිය තහවුරු කිරීම සඳහා වෛද්‍ය සභාවේ හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව තිබිය යුතුයි.

නැතහොත් රෝගියාගේ සංකුලතා වැඩි වන අතර සමහර විට රෝගියාට මුළු ජීවිත කාලයෙන්ම වන්දි ගෙවීමට සිදු වෙයි. විශේෂයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදාහරණයක් ලෙස ගතහොත් පුහුණුකරුවකුට නිසි භෞත චිකිත්සක ක්‍රම පිළිබඳ අවබෝධයක් නොතිබීමට හැකි අතර අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවගේ ශරීරය ගැන විධිමත් අවබෝධයක් නොගෙන නොසුදුසු ඉරියව් හා ව්‍යායාම් කිරීමෙන් ද පසුකාලීනව ආබාධ තත්වයන් ඇතිවීමට ද හැකියාවක් පවතී.

ක්‍රීඩකයන්ට වැදගත් භෞත චිකිත්සක ප්‍රතිකාර හා අවශ්‍යතා ඉදිරියේ දී සාකච්ඡා කරමු.

චිරන්ත ගුණරත්න

භෞත චිකිත්සක

ස්නායු ශල්‍ය ඒකකය

කොළඹ ජාතික රෝහල

– සාකච්ඡා කළේ සුජීව බණ්ඩාර

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<