චමරි අතපත්තුට WPL වරම් හිමි වෙයි!

WPL 2024

1373

එළඹෙන පෙබරවාරි මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත 2024 WPL තරගාවලියේ දී UP Warriorz කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හට හිමි වී තිබෙනවා. 

මීට පෙර මෙවර තරග වාරයේ දී UP Warriorz සමඟ ක්‍රීඩා කිරීමට නියමිත ව සිටි එංගලන්ත ක්‍රීඩිකා Lauren Bell මෙවර තරග වාරයට සහභාගී නොවන බව දැනුම් දීමත් සමඟයි චමරිට මෙම අවස්ථාව හිමි වී තිබෙන්නේ. එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එංගලන්ත – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව මහ Lauren විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. 

මේ අනුව චමරි විසින්, ඇය ගිය වසරේ පැවැත්වුණු WPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ මූලික මුදල වන ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මුදලට UP Warriorz කණ්ඩායම සමඟ එක් වනු ඇති. 

ගෙවුණු වසරේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ චමරි එවර WPL ක්‍රීඩිකා වෙන්දේසියේ දී වෙන්දේසි නොවීම බොහෝ ක්‍රිකට් රසිකයින් අතර කතාබහට ලක් වුනා. ගෙවුණු වසරේ දී චමරි විසින් විස්සයි විස්ස තරග 16ක දී ලකුණු 470ක් ලබා ගැනීමට සමත් වූ චමරිගේ පිතිකරණ සාමාන්‍ය 31.33ක අගයක රැඳී පැවති අතර, ඇයගේ ප්‍රහාරාත්මක වේගය 131 තරම් ඉහළ අගයක රැඳී පැවතුණා. එමෙන්ම ඇය පන්දු යැවීමෙන් ද කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා. 

පසුගිය වසරේ නිමාව දුටු WBBL තරගාවලිය සඳහා ද චමරිගේ නම පළමු තෝරා ගැනීමක් වුනේ නැහැ. නමුත් තරගාවලිය ආරම්භ වීමට සීමිත කාලයක් ඉතිරිව තිබිය දී චමරිව තම කණ්ඩායමට එක් කර ගැනීමට Sydney Thunder විසින් තීරණය කළා. පසුව Thunder සමඟ එක් වූ චමරි 2023 WBBL තරගාවලිය නිමා කළේ තරගාවලියේ දෙවැනි ඉහළම ලකුණු ලාභිනිය ලෙස ලකුණු 552ක් රැස් කර ගනිමිනුයි. එමෙන්ම ඇය මෙහි දී කඩුලු 9ක් ද දවා ගැනීමට ද සමත් වුනා. අවසානයේ තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන දිනා ගැනීමට පවා චමරිට හැකියාව ලැබුණා. 

ඉන් පසුව නවසීලන්තයේ පැවැත්වෙන Super Smash විස්සයි විස්ස තරගාවලියේ Northern Districts කණ්ඩායම සමඟ එක් වූ චමරි එහි දී පිත්තෙන් ලකුණු 221ක් සහ පන්දුවෙන් කඩුලු 9ක් ලබා ගැනීමට සමත් වුනා. 

චමරි විසින් දක්වන ලද මෙම දස්කම් ද සමඟින් UP Warriorz කණ්ඩායමට ඇය විශාල ආයෝජනයක් වන බව නම් නිසැක වශයෙන් ම සඳහන් කළ හැකි. මෙහි දී ඇය විසින් Alyssa Healyගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔවුන් දෙදෙනා විසින් UP Warriorz වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය ලෙස ද ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ හැකි. 

මෙවර WPL තරගාවලිය එළඹෙන පෙබරවාරි 23 සිට මාර්තු මස 17 දක්වා ඉන්දියාවේ බැංගලෝර් සහ දිල්ලි හිදි පැවැත්වීමට නියමිතයි.  

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<