විවෘත ශූරතා ද්විත්වයම ගුවන් හමුදාවට

Sunquick ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවය 2023

376

දින තුනක් පුරාවට මීගමුව වෙරළ ක්‍රීඩාංගණයේ පැවති Sunquick ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවය ඊයේ (21) නිමාවට පත් වුනා.

2019 තරගාවලියෙන් පසු ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවය පැවැත්වූ පළමු අවස්ථාව මෙය වූ අතර මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 217ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.

මෙවර තරගාවලිය සඳහා පළමු වරට 16න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ එක් කර තිබීම ද විශේෂත්වයක්.

මූලික වටයට සහ සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා වෙන් වූ පළමු දින දෙකකින් පසු ඊයේ දිනය වෙන්ව තිබුණේ තරගාවලියේ අවසන් මහා තරග සඳහායි.

උදෑසන වරුවේ පැවති 16න් පහළ බාලිකා අවසන් මහා තරගයෙන් කඳන්ගමුව බාලිකාවන් 21-07ක් සහ 21-08ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට බිටුලින්ක් C ක්‍රීඩිකාවන් සමත් වුනා.

තියුණු සටනකින් පසු 22-20ක් සහ 21-12ක් ලෙස නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාල B කණ්ඩායම පරාජය කළ නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාල A ක්‍රීඩකයින් 16න් පහළ බාලක ශූරතාව දිනා ගත්තා.

19න් පහළ බාලිකා ශූරතාවය සංඝමිත්තා බාලිකා විද්‍යාලය ක්‍රීඩිකාවන් පරදවා බිටුලින්ක් B ක්‍රීඩිකාවන් (21-11 සහ 21-08) විසින් දිනා ගනිද්දී, එහි පිරිමි ශූරතාව හලාවත සාන්ත මේරි ක්‍රීඩකයින් පරාජය කළ දවිසමර ජාතික පාසල (14-21, 21-14 සහ 15-04) සතු වුනා.

බිටුලින්ක් B ක්‍රීඩිකාවන් 21-17ක් සහ 21-16ක් ලෙස පරාජය කළ මහමෙරුව ලෙෂර්ස් ක්‍රීඩිකාවන් 22න් පහළ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ප්‍රබල තරගයකින් පසු ශ්‍රී ලක් ක්‍රීඩකයින් 21-19, 19-21ක් සහ 15-10ක් ලෙස පරාජය කළ හුංගම විජයබා ක්‍රීඩකයින් එහි පිරිමි ශූරයින් ලෙස අභිෂේක ලැබුවා.

තරගාවලියේ වැඩි අවධානය දිනා ගත් විවෘත කාණ්ඩයේ කාන්තා තරගයේ දී නාවික හමුදා ක්‍රීඩිකාවන් 21-06ක් සහ 21-11ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා.

ප්‍රේක්ෂකයින්ගේ දැඩි සහයෝගය මධ්‍යයේ පැවති පිරිමි අවසන් මහා තරගයෙන් හොඳ සටනකට පසු යුද හමුදා ක්‍රීඩකයින් වට 2-0ක් (21-19 සහ 21-17) ලෙස පරාජය කළ ගුවන් හමුදා ක්‍රීඩකයින් පිරිමි ශූරතාවය දිනා ගත්තා.

සිකුරාදා (19) ආරම්භ වූ මෙම තරගාවලිය දින තුනක් පුරාවට අති උත්කර්ෂවත් ලෙස පැවති අතර ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ ඉදිරි අනාගතය හැඩ කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලියේ දී දස්කම් දක්වනු දැක ගැනීමට හැකියාව ලැබුණා.

දේශීය සහ ජාත්‍යන්තර වොලිබෝල් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<