Tamil Union සහ රාගම අවසන් මහා සංග්‍රාමයට

Major සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලිය 2021

948

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (29) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වෙමින් අවසන් වූ අතර ඒ අනුව අවසන් මහා තරගය සඳහා Tamil Union ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

Tamil Union ක්‍රීඩකයන් මෙම අවස්ථාව හිමිකර ගත්තේ යුද හමුදාව සමඟ මග්ගොන දී පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 47ක ජයග්‍රහණයක් ලබා ගනිමින්.

මේ අතර දොඹගොඩ දී පැවති රාගම සහ NCC අතර තරගයේ විසඳුමක් අද දිනයේ ද නොලැබුනු අතර කාණ්ඩ ශූරයන් ලෙසින් ඉදිරියෙන් සිටි රාගම ක්‍රීඩකයන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසාන මහා තරගය හෙට (30) P. Sara Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

Tamil Union සහ යුද හමුදාව

මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු දිනයේ දී කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩකයන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි Tamil Union ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 242ක් පමණයි. වර්ෂාව හේතුවෙන් එතැන් සිට පළමු දිනයට නතර වූ තරගය අද දෙවැනි දිනයට ආරම්භ වුනා.

ලකුණු 243ක ඉලක්කයක් කරා යෑමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී වාර්තා කර ගත හැකි වූයේ ලකුණු 179ක් පමණයි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය Tamil Union ක්‍රීඩකයන් සතු වුනා.

එම ඉනිම වෙනුවෙන් අසේල ගුණරත්න පන්දු 50කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් රැස්කර ගත්තා. ඊට අමතරව සීක්කුගේ ප්‍රසන්න ද පන්දු 17ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් වාර්තා කරගත්තා.

යුද හමුදා ඉනිමේ අවසන් කඩුලු 4 පන්දු 11ක් තුළ දවා ගැනීමට Tamil Union පන්දු යවන්නන් සමත් වුනා. ඒ අනුව ප්‍රමෝද් මධුශාන් ලකුණු 30කට කඩුලු 3ක් ද, ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 48කට කඩුලු 3ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. ඊට අමතරව ශිරාන් ප්‍රනාන්දුට ද කඩුලු 2ක් හිමි වුනා.

Tamil Union – සියලුම දෙනා දැවී 242 (50): සදීර සමරවික්රම 50, නවෝද් පරණවිතාන 49, සංතුශ් ගුණතිලක 37, ශිරාන් ප්රනාන්දු 23, සුපුන් කාවින්ද 21, ජෙෆ්රි වැන්ඩර්සේ 20, හේෂාන් හෙට්ටිආරච්චි 3/42, සික්කුගේ ප්රසන්න 2/39, සුමින්ද ලක්ෂාන් 2/46.

යුද හමුදාවසියලුම දෙනා දැවී 179 (32.5): අසේල ගුණරත්න 40, සීක්කුගේ ප්රසන්න 29, පැතුම් ඩිල්ශාන් 26, ශිරාන් ප්රනාන්දු 2/38, ප්රමෝද් මධුශාන් 3/30, ජෙෆ්රි වැන්ඩර්සේ 3/48.

රාගම සහ NCC

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු දිනයේ දී කාසිය වාසිය දිනා ගත් NCC ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට රාගම ක්‍රීඩකයන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ක්‍රීඩා කිරීමට ලැබුණේ පන්දුවාර 31ක් පමණයි. වර්ෂාව හේතුවෙන් එම අවස්ථාවේ දී තරගය නතර කරන විට රාගම ක්‍රීඩකයන් කඩුලු 5ක් දැවී ලකුණු 114ක් රැස් කරගෙන සිටියා.

එම තත්ත්වය එසේම තිබිය දී අද තරගය එකඳු පන්දුවක් හෝ නොයවා නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වුනේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේයි.

කෙසේ වෙතත් තරග නීති අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ කාණ්ඩ ශූරයන් වූ රාගම ක්‍රීඩකයන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

රාගමකඩුලු 5ක් දැවී 114 (31): නිශාන් මධුශ්ක නොදැවී 41, ජනිත් ලියනගේ 26. අවිශ්ක තරිඳු 21, සචිඳු කොළඹගේ 3/26.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදු වන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<