වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග දෙකෙන් ජයග්‍රහණ හිමිකර ගන්නට ඩිමෝ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් සමත්කම් දැක්වීය. අද දිනයේ ක්‍රියාත්මක වූ තරග දෙකේදීම අඩු ලකුණු සංඛ්‍යා වාර්තා වීම විශේෂත්වයකි.

පසුගිය ලිපි: පිතිකරුවන්ගේ දිනයක ලහිරුගේ වේග පන්දුව බැබලෙයි

ටෙක්ස්චර්ඩ් ජර්සි සහ ඩිමෝ කණ්ඩායම් අතර තරගය

කටුනාය‍ක දී පැවති ටෙක්ස්චර්ඩ් ජර්සි හා ඩිමෝ කණ්ඩායම් අතර තරගයේදී කඩුලු 7ක පහසු ජයක් ලබන්නට ඩිමෝ කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් ඩිමෝ කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ටෙක්ස්චර්ඩ් ජර්සි පිළට හිමිකර දුන්හ.

නමුත් අද දින පිත්තෙන් එතරම් සාර්ථකත්වයක් අත්කර ගත හැකි නොවූ ටෙක්ස්චර්ඩ් ජර්සි පිතිකරුවන්ට සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණි.

ටෙක්ස්චර්ඩ් ජර්සි පිළ වෙනුවෙන් සටන්කාමී ලකුණු 75ක් රැස්කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරේ නැගී එන තරුව වන චරිත් අසලංක සමත් වුවත් එය ඔහු නියෝජනය කරන කණ්ඩායම පරාජයෙන් ගලවා ගන්නට ප්‍රමාණවත් නොවීය. ටෙක්ස්චර්ඩ් ජර්සි ඉනිම සුනු විසුණු කළ ඉශාර ප්‍රශාන් ලකුණු 37ක් පමණක් ලබාදෙමින් ප්‍රතිවාදී කඩුලු 4ක් තමා සතුකර ගන්නට  සමත් විය. මතීෂ සහ තික්ෂිල අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 177ක පහසු ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දුවාර 32යි පන්දු 4ක් තුලදී සපුරා ගත්හ. හෂාන් දුමිඳු නොදැවී ලකුණු 87ක් රැස් කරමින් ඩිමෝ කණ්ඩායම පහසු ජයක් කරා කැටුව ගියේය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පමණක් ටෙක්ස්චර්ඩ් ජර්සි පිළ වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වෙමින් ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙලුවේය.

මෙම තරගය අතරතුරදී පන්දුවක් වැදීම හේතුවෙන් ඩිමෝ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් ඇඟිල්ලේ ආබාධයකට ලක් විය. ආබාධය තරමක් බරපතල වන අතර සැත්කමකින් පසු මේ වනවිට ඔහු විවේක සුවයෙන් පසුවෙයි.

ටෙක්ස්ටඩ් ජර්සි සියල්ලන්ම දැවී ලකුණු 176 (පන්දුවාර 44.3)

චරිත් අසලංක 75, රනේෂ් පෙරේරා 42, ඉශාර ප්‍රශාන් 4/37, තික්ෂිල ද සිල්වා 2/17, මතීෂ පෙරේරා 2/26.

ඩිමෝ කඩුලු 3ක් දැවී ලකුණු 177 (පන්දුවාර 32.4)

හෂාන් දුමිඳු 87*, සුරංග ලක්මාල් 2/26.


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ MAS ඇක්ටිව් අතර තරගය

අද දින (17) සරේ විලේජ් හීදී ක්‍රියාත්මක වූ අනෙක් තරගය හරියටම පන්දුවාර 40ක් පමණක් ක්‍රියාත්මක වූ ඉතාමත්ම කෙටි තරගයක් බවට පත්විය. එහිදී කාසියේ වාසියෙන් උපරිම ඵල නෙලා ගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව MAS ඇක්ටිව් පිළට ලබා දී ඔවුන් සියලු දෙනාම ලකුණු 97ක් තුල දවා ගන්නට සමත් විය.

ඇක්ටිව් පිතිකරුවන් අන්දමන්ද කරමින් සුපිරි පන්දු යැවීමක නිරත වුනු ශ්‍රී ලංකාවේ අනාගත වේග පන්දු තුරුම්පුවක් වන ලහිරු ගමගේ සහ ලහිරු මධුසංක ප්‍රතිවාදී කඩුලු 9ක් දඩයම් කරන්නට සමත් විය. එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 31 බැගින් ලබා දෙමින් ලහිරු ගමගේ කඩුලු 4ක් ද, ලහිරු මධුසංක කඩුලු 5ක් ද බිඳ හෙලනු ලැබූහ. අසාර්ථක වූ ඇක්ටිව් ඉනිම වෙනුවෙන් ඇන්ඩි සොලමන් ලකුණු 24කින් දායකත්වය දක්වන ලදී.

ඉතාමත් පහසු ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින්, වැඩි කල් වේලා නොයවාම තරග ජය තමන් සතු කරගන්නට සමත් විය. දකුණත් මැද පෙළ පිතිකරු අශාන් ප්‍රියන්ජන් හා දිල්හාන් කුරේ ලකුණු 36 බැගින් ලබමින් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණක් කරා රැගෙන ගියහ.

MAS ඇක්ටිව් 97 (පන්දුවාර 20.5)

ඇන්ඩි සොලමන් 24, ලහිරු ගමගේ 4/31, ලහිරු මධුසංක 5/31.

කොමර්ෂල් ක්‍රෙඩිට් කඩුලු 2ක් දැවී ලකුණු 98 (පන්දුවාර 19.1)

අශාන් ප්‍රියන්ජන් 36*, දිල්හාන් කුරේ 36.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට