මහනුවර අපරාජිතව ඉදිරියට

වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

323

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය ඊයේ (23) සාර්ථකව අවසන් වුනා.

දිනයේ  පැවති තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ දකුණ කණ්ඩායම් සමත් වුනා.

තරගාවලිය ආරම්භ කරමින් කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිව ලකුණු 102ක විශිෂ්ට ජයක් ලබා ගත් මහනුවර කණ්ඩායම ඊයේ දිනයේ දී ගාලු කණ්ඩායමට එරෙහිව ද ලකුණු 202ක දැවැන්ත ජයක් ලබා ගනිමින් තරගාවලිය තුල තවදුරටත් සිය අපරාජිතභාවය රැක ගැනීමට සමත් වුනා.

>> 2022 ThePapare Most Popular Schoolboy Cricketer මනාප පළ කිරීම සඳහා <<

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5කට ලකුණු 357ක දැවැන්ත ලකුණක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 41.3ක දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි.

මෙම තරගයේ දී පිතිකරණයෙන් වැඩි දස්කම් දැක්වීමට පුළිඳු පෙරේරා, ලක්වින් අබේසිංහ, තිසරු ඒකනායක සහ ඉසුරු පනාල සමත් වූ අතර වේගවත් පිතිහරඹයක නිරත වුණු පුළිඳු පන්දු 33ක් තුල සුපිරි ලකුණු 82ක් ලබාගෙන දැකුම්කළු පිතිකරණයක් ප්‍රදර්ශනය කළා. ඔහුගේ එම ඉනිම හයේ පහර 9කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වුනා.

ඔහුට අමතරව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ලක්වින් ලබා ගත් ලකුණු 88 සඳහා පන්දු 105කට මුහුණ දුන්නා.

මොවුන් දෙදෙනාට අමතරව සෙසු අර්ධ ශතක ලාභීන් දෙදෙනා වූ තිසරු ඒකනායක සහ ඉසුරු පනාල ලකුණු 54 බැගින් ලබා ගැනීමට සමත් වුනා. ගාලු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේ දී මනුල කුලරත්න සහ ශෙෂාන් යෂෝන් කඩුලු 4 බැගින් බිඳ දැමුවා.

මේ අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවති කොළඹ දකුණ සහ ගාල්ල අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි නිසා තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම් වුනා.

ගාල්ල කණ්ඩායම පන්දුවට පහර දෙන අතරතුර දී වර්ෂාවෙන් බාධා පැමිණි නිසා තරගය එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා කෙරුණා. ඒ අනුව පන්දුවාර 39ක දී ගාලු ඉනිම ලකුණු 205කට සීමා වුනා.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කොළඹ දකුණ කණ්ඩායම ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය අතර එය හඹා යෑමේ දී පන්දුවාර 27.1ක දී කඩුලු 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට‌ කොළඹ දකුණ කණ්ඩායම සමත් වුනා.

එහි දී කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් රුසඳ ගමගේ පන්දු 73ක දී නොදැවී ලකුණු 72*ක් ද, විශේන් හැළඹගේ පන්දු 19ක දී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා.

මහනුවර සහ දඹුල්ල

  • මහනුවර – 357/5 (50): පුළිඳු පෙරේරා 82, ලක්වින් අබේසිංහ 88, ඉසුරු පනාල 54, තිසරු ඒකනායක 20*, ජයවි ලියනගම 54*, වතිල උදාර 26)
  • දඹුල්ල – 155 (41.3): ගයාන් වීරසිංහ 33, කනිෂ්ක ලක්ෂාන් 30, විශ්ව රාජපක්ෂ 26, ජිනජිත් දිලුම්ක 15, මනුල කුළරත්න 4/23, ශෙෂාන් යෂෝන් 4/33.

මහනුවරට ලකුණු 202ක ජයක්

ගාල්ල සහ කොළඹ දකුණ

  • ගාල්ල – 205 (39): චමරිඳු නෙත්සර 44, තමිදු ප්‍රදීප්ති 35, දිනුර අබේවික්‍රම 27, රෙෂාන් දිල්හාර 19, චාර්ය පරණවිතාන 15, රදීෂ බණ්ඩාරනායක 20/4, රයන් දිසානායක 33/2, අක්මාල් ෆස්ලි 43/2)
  • කොළඹ දකුණ – 200/4 (27.1): රුසඳ ගමගේ 72*, විශේන් හැළඹගේ 45, සිනෙත් ජයවර්ධන 38, රිවිත ජයසූරිය 21, එස්. කබිලේෂ්වරන් 66/3)

කොළඹ දකුණට කඩුලු 6ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<