Blues වසර 18ක කුසලාන නියඟය නිමා කරයි

Super Rugby Trans-Tasman 2021

207

වසර 18ක කුසලාන නියඟය නිමා කිරීමට Blues කණ්ඩායම අද (19) සමත් වුනා. ඒ Super Rugby Trans-Tasman හි අවසන් තරගයේ දී Highlanders කණ්ඩායම පරාජය කරමින්. 

Super Rugby Trans-Tasman තරගාවලියට අදාළව අද Blues සහ Highlanders තරග වැදුණේ නවසීලන්තයේ Auckland හි Eden Park හිදියි. මෙම තරගයේ දී ලකුණු 23-15ක් ලෙස Highlanders පරාජය කිරීමට Blues සමත් වුනේ වසර 18කට පසු ඔවුන් වාර්තා කළ පළමු කුසලානයට හිමිකම් කියමින්. මෙම තරගය නැරඹීම සඳහා 35,000කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගී වීම විශේෂත්වයක්.

තරගයේ මුල් මිනිත්තු 3 තුල දී ම සිය ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට Highlanders සමත් වූ අතර Mitch Hunt ලබා ගත් දඬුවම් පහරත් සමඟින් ඔවුන් ලකුණු 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ 16 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Blues කණ්ඩායමේ Mark Telea පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු 7ක් ලකුණු පුවරුවට එක් කළේ තරගයේ පෙරමුණ Blues කණ්ඩායමට හිමිකර දෙමින්.

නැවතත් ක්‍රියාත්මක වූ Blues කණ්ඩායම 25 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය ලකුණු සංඛ්‍යාව 10ක් දක්වා පරිවර්තනය කර ගත් අතර Highlanders කණ්ඩායමේ උපනායකයා වූ Ash Dixon හට කහ කාඩ්පතක් ද නිකුත් කෙරුණා.

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර කණ්ඩායම් දෙකම එක් දඬුවම් පහරක් බැගින් සාර්ථක කර ගත් අතර පළමු අර්ධය අවසානයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 13-06ක් ලෙස Blues කණ්ඩායමට පෙරමුණ හිමිකර දෙමින්.

දෙවැනි අර්ධය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගත් Highlanders දඬුවම් පහර දෙකක් සාර්ථක කරගනිමින් සිය ලකුණු පුවරුව 12ක් දක්වා ඉහල නැංවූයේ ලකුණු පරතරය එක් ලකුණක් දක්වා අඩුකර ගනිමින්. 

තවත් පුවත්:

තරගය නිමා වීමට මිනිත්තු 12ක් ඉතිරිව තිබිය දී Blues කණ්ඩායමේ සියලු බලාපොරොත්තු මඳකට සුනුවිසුනු කිරීමට Highlanders සමත් වුනා. ඒ 68 වැනි මිනිත්තුවේ දී ඔවුන් සාර්ථක කර ගත් දඬුවම් පහරක් සමඟින්. 

ඉන් අනතුරුව ලකුණු පුවරුව 13-15ක් ලෙස දිස්වුනේ Highlanders කණ්ඩායමට එක් ලකුණක වාසියක් හිමිකර දෙමින්. ඉන් මිනිත්තු 2ක් යාමටත් පෙර ක්‍රියාත්මක වූ Blues කණ්ඩායම නැවතත් සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සමත් වුනේ දඬුවම් පහරක් මඟින්.

තරගයේ 78 වැනි මිනිත්තුවේ දී තීරණාත්මක උත්සාහක දිනුමක් වාර්තා කිරීමට Blake Gibson සමත් වුනේ Highlanders කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන් කරමින්. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔවුන් ලකුණු පුවරුව ලකුණු 23-15ක් ලෙස ඉහල දැමීමට සමත් වුනා. 

තරගයේ අවසන් මිනිත්තුව තුල ඩ්‍රොප් ගෝලයක් මඟින් ලකුණු රැස්කිරීමට Highlanders උත්සාහ කළ ද එය සාර්ථක වුනේ නැහැ. තරගයේ 80 වැනි මිනිත්තුව වන විට පන්දුව තමන් සතුකර ගනිමින් ප්‍රතිවාදී සීමා ඉර ආසන්නයේ සිටිය ද ඔවුන්ට ලකුණු රැස්කිරීමට Blues කණ්ඩායම කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ඒ අනුව Super Rugby Trans-Tasman ශූරතාවය දිනා ගැනීමට Blues සමත් වුනා. ඒ වසර 18කට පසුවයි.

Super Rugby Trans-Tasman තරගාවලියේ ඔවුන් සහභාගී වූ තරග 5 ම ජයග්‍රහණය කිරීමට Blues කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. Highlanders සහ Crusaders ද සියලු තරග ජයග්‍රහණය කරමින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගෙන සිටිනවා.

ලකුණු ලබාගැනීම

  • Blues: Mark Telea (1T), Blake Gibson (1T), Otere Black (1C, 1P), Harry Plummer (1C, 2P)
  • Highlanders: Mitch Hunt (4P), Josh Ioane (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<