Dialog Commander’s 7s ලීගය අත්හිටුවයි

531

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් එක්ව සංවිධානය කරනු ලැබූ Dialog Commander’s කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය නිල වශයෙන් අත්හිටුවීමට තීරණය කර ඇත.

එනමුත් එම තරගාවලිය වෙනුවට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වූ කණ්ඩායම් සහභාගි කරගනිමින් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

Commander’s 7s තරගාවලිය ආරම්භයට දින ගණනකට පෙර මෙම තීරණය ගෙන ඇති අතර ගුවන් හමුදාව විසින් මෙම සතියේ දී මෙවැනි ආකාරයේ තරගාවලියක් පැවැත්වීමට තමන්ට නොහැකි බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

Dialog Commander’s Cup කුසලාන තරගාවලිය කණ්ඩායම් පහක් සහභාගී කරගනිමින් අදියර දෙකක් යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර CR&FC, Kandy SC සහ CH&FC කණ්ඩායම් තරගාවලිය ක්‍රීඩා නොකර ඉන් ඉවත් වීමට පෙබරවාරි මාසයේ දී තීරණය කර තිබුණා.

එනමුත් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි Rizly Illyas ප්‍රකාශ කර සිටියේ ගුවන් හමුදාව සත්කාරකත්වයෙන් ඉවත් වීම නිසා මෙම තරගාවලිය නවත්තන්නේ නැති බවත් සහ තරගාවලිය කලින් සැලසුම් කළ දිනවල දී පවත්වනු ඇති බවයි.

තවත් රග්බි පුවත්:

ඒ අනුව මෙම තරගාවලිය Inter-Club 7s යන නව නාමයෙන් හඳුන්වනු ඇති අතර ගුවන් හමුදා කණ්ඩායමේ සහභාගීත්වය අවිනිශ්චිත වේ.

තවද ගුවන් හමුදාව සත්කාරකත්වයෙන් ඉවත් වීමත් සමඟ තරගාවලිය පෙර සැලසුම් කර පරිදි රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී නොපැවත්වෙනු ඇති අතර තරගාවලිය පැවැත්වීමට සුදුසු කොළඹ ක්‍රීඩා පිටියක් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සොයමින් සිටී.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළේ මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට සුදුසුම ක්‍රීඩා පිටිය කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණය බවයි.

දිගු විවේකයකින් පසු රග්බි පිටියේ වැඩ කටයුතු ආරම්භ කරන මෙම තරගාවලිය මාස දෙකක පමණ වෙහෙසකින් පසු නවතා දැමීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සූදානම් නැති අතර කොරෝනා වසංගතයෙන් පසු පළමු තරගාවලිය පැවැත්වීමට ඔවුන් සූදානමින් පසු වේ.

මෙම තරගාවලියේ පළමු අදියර මාර්තු මස 20 සහ 21 දිනයන්හී පැවැත්වීමට නියමිතව ඇති අතර දෙවන අදියර මාර්තු මස 27 සහ 28 දිනයන්හී පැවැත්වීමට සැලසුම් කර ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<