කුළුඳුල් ශූර ශූරියන් සමඟ Blue & Gold හොකී කුසලානය අවසන්

Blue & Gold සත් සාමාජික හොකී තරගාවලිය 2023

432
Blue & Gold Hockey Sevens 2023

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන Blue & Gold හොකී තරගාවලිය ඊයේ (13) සහ පෙරේදා (12) රාජකීය විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. 

ඉතා උණුසුම් ලෙස දින දෙකක් පුරාවට පැවති මෙම තරගාවලිය 2005 වසරේ දී ආරම්භ වූ අතර මෙවර තරගාවලිය පැවැත්වුණේ 18 වැනි වතාවටයි.  

මෙවර තරගාවලියේ පිරිමි ශූරතාවය කැපී පෙනෙන දස්කම් සමඟ ජයග්‍රහණය කිරීමට මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වූ අතර කාන්තා ශූරතාවය දිනා ගත්තේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් විසිනුයි 

තරගාවලි ඉතිහාසය පුරා ආධිපත්‍ය රඳවා ගෙන සිටි කණ්ඩායම් ඔවුන් හමුවේ පරාජයට පත් වූ අතර මෙම කණ්ඩායම් ද්විත්වයම Blue & Gold සත් සාමාජික හොකී කුසලාන දිනූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. 

කාන්තා අදියරේ අවසන් මහා තරගයට මහනුවර ස්වර්ණමාලි විද්‍යාලය පරදවමින් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබා ගැනීමට සමත් ව තිබූ අතර මාතලේ Christ Church විද්‍යාලය පරාජය කරමින් කොළඹ කාන්තා විද්‍යාල ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.  

අවසන් මහා තරගයෙන් කාන්තා විද්‍යාල ක්‍රීඩිකාවන් ගෝල 2-0ක් ලෙස පරාජය කළ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් කාන්තා ශූරියින් ලෙස අභිෂේක ලැබුවා.  

තරගාවලිය පුරාවට ඉහළ දස්කම් දැක්වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විසින් ප්‍රබල මාතලේ සාන්ත තෝමස් ක්‍රීඩකයින් ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනා ගත්තා. 

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් මාතලේ සාන්ත තෝමස් ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. 

මෙම තරගාවලියේ පිරිමි කාණ්ඩයේ කුසලාන තෙවැනි ස්ථානය ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් දිනා ගද්දී, කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ මහනුවර ස්වර්ණමාලි ක්‍රීඩිකාවන් විසිනුයි 

තරගාවලියේ පිරිමි කාණ්ඩයේ පලඟ ශූරතාවය කොළඹ ආනන්ද විද්‍යාල ක්‍රීඩකයින් විසින් දිනා ගැනීමට සමත් වූ අතර එහි කාන්තා කාණ්ඩයේ ශූරතාවය සීතා දේවි බාලිකා විද්‍යාලය විසින් දිනා ගත්තා. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩකයින් විසින් පිරිමි කාණ්ඩයේ බඳුන ශූරතාවය දිනා ගැනීමට සමත් වෙද්දී, කාන්තා කාණ්ඩයේ බඳුන ශූරතාවය දිනා ගත්තේ පානදුර බාලිකා විද්‍යාලය විසිනුයි. 

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මරදාන සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩක අබ්නර් ප්‍රනාන්දු සම්මාන දිනා ගැනීමට සමත් වූ අතර වෙන්නප්පුව ශුද්ධ වූ කන්‍යාරාමයේ ඉශාරා ප්‍රනාන්දු විසින් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවා. 

මාතලේ සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩක ඒ. බී. ගමසේකර තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වූ අතර දක්ෂතම ගෝල රකින්නිය ලෙස සම්මාන දිනා ගත්තේ කොළඹ කාන්තා විද්‍යාලයේ දෙහාරා සේනාරත්නයි. 

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීමට ඔබත් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<