දෛවයට අභියෝග කළ අප්‍රිකානු කඟවේනා

202

ඔලිම්පික් උළෙලක් යනු මෙලොව සිටින සියලුම ක්‍රීඩකයන්ගේ ප්‍රධානතම සිහිනයකි. ලොව පවතින ප්‍රධානතම ක්‍රීඩා මංගල්‍යය වන මෙයට සහභාගී වීමට අවස්ථාවක් හිමිවන්නේ ඉතාම සුළු කොටසකට පමණි.  එම නිසා ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීම ක්‍රීඩකයෙකුට යම් ගෞරවයක් ද හිමිකර දෙයි. 

ඔලිම්පික් නාමයේ ගෑවුණු කළු පැල්ලම – මියුනික් සංහාරය

එදා වර්ෂ 1972ක් වූ සැප්තැම්බර් මස 04 වනදා යි. 20 වන ගිම්හාන ඔලිම්පික්…..

එලෙස එතරම්ම තරගකාරී වූ ක්‍රීඩා උළෙලක් නියෝජනය කිරීම සාමාන්‍ය මිනිසෙකුට පවා අසීරු දෙයකි. නමුත් පාද දෙකම අහිමිව ගියත් තම උත්සාහය හා කැපවීම තුළින් තම ඔලිම්පික් සිහිනය ළඟා කරගත් මොහු “ඔස්කා පිස්ටෝරියස්” වේ. 

1986 වසරේ නොවැම්බර් මස 22 වනදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි උපත ලැබූ පිස්ටෝරියස්ගේ වයස යන්තමින් මාස 11 වන විට පාද දණහිස අසලින් ඉවත් කිරීමට සිදුවන්නේ උපතින්ම පාද වල ඇති වූ දුබලතාවයක් නිසාවෙනි. එම සිදුවීමෙන් හුදෙකලා නොවූ කුඩා පිස්ටෝරියස් තම පාසල් කාලය තුළ රගර්, ටෙනිස් හා වෝටර් පෝලෝ වැනි ක්‍රීඩා සඳහා ඉදිරිපත් විය. 

කෙසේ නමුත් නැවතත් ඔහු පසුපස අවාසනාව එලවා එන්නාක් මෙන් 2003 වසරේ රග්බි තරගයක් මැද ඔහු දරුණු ආබාධයකට ලක්වන අතර ඒ හේතුවෙන් නැවතත් ඔහුගේ දණහිසේ ශල්‍යකර්මයක් කිරීමට සිදුවිය. නමුත් ඒ අවාසනාව තම ආශිර්වාදය කරගත් ඔහු තම කෙටි දුර ධාවන ඉසව් පුහුණුවීම් විශ්ව විද්‍යාලය තුළ දී ආරම්භ කළේය.  

මෙලෙස තම දෛවය තමන් විසින් ලිවීමට සැරසෙන පිස්ටෝරියස් හට මුහුණ දීමට සිදුවන්නේ තමන් භාවිතා කරන කෘත්‍රීම පාදයන් නිසි ප්‍රමිතියට නොමැති වීම නිසා ඉක්මණින් කැඩී යාමේ ගැටළුවටය. කෙසේ නමුත් ඔහුගේ මෙම ගැටළුව විසඳා ගැනීමට ඇමරිකානු ජාතික පැරාලිම්පික් ක්‍රීඩක බ්‍රයන් ප්‍රෙෂර් සහාය වන අතර ඔහුගේ මාර්ගයෙන් හොඳ තත්වයේ පාද යුගලයන් දෙකක් ලබා ගැනීමට ඔහුට හැකිවිය. 

තම දිවියේ ස්වර්ණමය යුගය අරඹමින් 2004 වසරේ ඇතැන්ස් හි පැවති පැරාලිම්පික් උළෙල සඳහා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් සහභාගී වීමට වරම් ලබන ඔහු, තමන් තරග කළ යුතු T43 (පාදයන් දෙකම දණහිසින් පහළ අහිමි) කාණ්ඩය මගහරිමින් T44 (එක් පාදයක් පමණක් දණහිසින් පහළ අහිමි) කාණ්ඩය නියෝජනය කරන අතර එහි මීටර 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය. 

පිස්ටෝරියස් 2004 ඇතැන්ස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී

එම කාණ්ඩයේම මීටර 200 ධාවන ඉසව්ව නියෝජනය කළ ඔහු, එම තරගය තත්පර 21.97කින් නිම කරමින් ලෝක වාර්තාවක් පිහිටු වීමට සමත් වන්නේ පැරාලිම්පික් හි ‘පිස්ටෝරියස් යුගය’ ආරම්භ කරමිනි. එතැන් සිට ඉතා ඉහළ දස්කම් දැක්වූ ඔහු, 2007 වසරේ පැවති දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර 400 ධාවන ඉසව්ව තත්පර 46:56කින් අවසන් කරමින් එම ඉසව්වට අදාළ ආබාධිත ලෝක වාර්තාව තම නමට ලියා ගන්නා ලදි. 

නැවතත් එම වසරේ දීම පැවති “Nedbank Championships for the Physically Disabled” තරගාවලිය නියෝජනය කළ ඔහු, මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.91ක කාලයකින් හා මීටර 200 ධාවන ඉසව්ව තත්පර 21.58කින් නිම කරමින් එම ඉසව් සඳහා ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් විය. 

කෙසේ නමුත් නැවතත් අවාසනාව ඔහු පසුපස හඹා එන්නාක් මෙන් පැරාලිම්පික් උළෙලට වසරකට පෙර, එනම් 2007 වසරේ දීම ඔහු හට තරග තහනමක් පැනවෙන්නේ ඔහුගේ පාද යුගලයන්ගෙන් අනවශ්‍ය ශක්තියක් ලැබෙන බවට වන චෝදනා නිසාවෙනි. නමුත් කිසි දිනක අතහැරීමට සූදානම් නොවූ ඔහු, ඒ සඳහා සටන් කර තම තරග තහනම ඉවත් කරගැනීමට සමත් විය. 

ඊට අමතරව ඔහු ආබාධිත ක්‍රීඩකයන් හට ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙනී සිටින අතර ඔහුගේ අදහස වූයේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අනෙකුත් ක්‍රීඩකයන් සමඟ තරග කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බවයි. කෙසේ නමුත් 2008 වසරේ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට තිබූ අවස්ථාව ඔහුට අහිමි වන්නේ තත්පර 0.70ක කුඩා කාලයකින් පරිසාදන මට්ටම ඉක්මවීමට අසමත් වීම නිසාවෙනි. 

ඒ නිසාවෙන් මීටර 400 සහය දිවීමේ කණ්ඩායමට ද ඔහුව ඇතුළත් නොකිරීමට එරට බලධාරීන් කටයුතු කරන නමුත් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය ඔහුට වයිල්ඩ් කාඩ් අවස්ථාවකින් ඔලිම්පික් උළෙලට සහභාගී වීමට ඉඩ ලබා දීමට තීරණය කෙරිනි. නමුත් එයට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ; 

“මා එය පිළිගත යුතු යැයි මම විශ්වාස කරන්නේ නෑ,මම මෙම ක්‍රීඩා උළෙලට සහභාගී විය යුත්තේ මා එයට සුදුසුකම් ලැබුවහොත් පමණයි.” යන්නයි.  

මහගෙදරම ආරම්භ වූ නූතන ඔලිම්පික් උළෙල

පුරාවෘත්තයන් හා මුසු වූ පුරාතන ඔලිම්පික් උළෙල අවසන් වීමෙන් අනතුරුව…..

කෙසේ නමුත් එම වසරේ පැවති පැරාලිම්පික් උළෙල නියෝජනය කළ පිස්ටෝරියස්, එහිදී සුපුරුදු පරිදි තම ඉසව්වන් වන මීටර 100 හා මීටර 200 ධාවන ඉසව් ජයගැනීමට සමත් විය. ඔහු මීටර 400 ධාවන ඉසව්ව තත්පර 47.49ක කාලයකින් නිම කරමින් ලෝක වාර්තාවක් පිහිටු වීමට සමත් වන්නේ ක්‍රීඩා උළෙල තුළ තම තුන්වන රන් පදක්කමත් දිනා ගනිමිනි. 

පිස්ටෝරියස් 2008 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර

එතැන් සිට 2012 වසරේ ගිම්හාන ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට අදිටන් කරගත් ඔහු, 2011 වසරේ ආබාධිත නොවන ක්‍රීඩා උළෙලයන් රැසක් නියෝජනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2011 වසරේ ජූලි මස 19 වන දින ඔහු ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යාමට සමත් විය. එයින් මසකට පසු පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 ධාවන ඉසව්ව සහ මීටර 400 සහය ධාවන ඉසව් නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගන්නේ තම සිහිනයේ මුල් අදියර ජය ගනිමිනි. 

ඉන් වසරකට පසු තම අභියෝග සියල්ල පරදමින් ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවරට පැමිණෙන්නේ තම සිහිනය මල්ඵල ගන්වන දිනයට සහභාගී වීමටයි. ලොව සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් වෙමින් මෙම දෙපා අහිමි විරුවා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගී වන්නේ ගිම්හාන ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ ප්‍රථම ආබාධිත ක්‍රීඩකයා වෙමිනි. 

පිස්ටෝරියස් 2012 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී

ඔහුට එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඉවතට යාමට සිදුවූවත් ඔහු සියල්ලන්ගේ මතකයේ රැඳෙන්නේ පාද රහිත ලොව වේගවත්ම මිනිසා නොහොත් ‘ද බ්ලේඩ් රනර්’ යන අනුවර්ත නාමයෙනි. එම වසරේම පැවති පැරාලිම්පික් උළෙලේ දීද ඔහු රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වන්නේ තවමත් ඔහු උත්සාහය අත්නොහරින බව අඟවන්නාක් මෙනි. 

කෙසේ නමුත් 2013 වසරේ පෙබරවාරි මස 14 වනදා ලොවම කම්පා කරන පුවතක් මතුවන්නේ පිස්ටෝරියස් විසින් ඔහුගේ පෙම්වතිය වෙඩි තබා මරා ඇති බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ නිවසට හොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකු යැයි සිතා ඔහු එය කළ බවයි. කෙසේ නමුත් බොහෝ නඩු තීන්දු වලින් අනතුරුව ඔහුට 2023 වසර දක්වා දස වසරක සිර දඬුවමකට යටත් වීමට සිදුවිය. 

පිස්ටෝරියස් සහ රීවා ස්ටීන්කැම්ප්

අවාසනාව තම ධෛර්යය කරගත් මෙම උත්සාහවන්තයා, තම ක්‍රීඩා දිවියේ හොඳම කාලය සිර කූඩුවක් තුළ ගත කරමින් සිටියි. කෙසේ නමුත් සෑම විටම තම දෛවයට අභියෝග කළ මෙම පාද රහිත වේගවත් මිනිසා සිර දඬුවම අවසන් කර තම දෛවය ක්‍රීඩාව තුළින් නැවතත් ලියන තුරු ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් ඉතා බලාපොරොත්තු සහිතව බලා සිටියි. 

“ශාරීරිකව දුබල වූ පමණින් ඔබ ආබාධිතයෙකු නොවේ. ඔබට හැකියාව, උනන්දුව තිබේ නම් ඕනෑම දෙයක් කළ හැකිය.”ඔස්කා පිස්ටෝරියස්  

                            >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<