මෙසී දක්ෂයි, නමුත් දෙවියන් මමයි!

1724
Zlatan Ibrahimovic

“මම තමයි තවමත් දෙවියන්, මම තමයි තවමත් අංක 1. පසුගිය මාස කිහිපයේ මට මග හැරුණු දේවල් වලින් පසුව මට නැවතත් බොහෝ දේ සිදු කරන්න අවශ්‍යයි.”

පාදයේ ආබාධයක් නිසා AC Milan කණ්ඩායමෙන් කාලයක් තිස්සේ ඉවත් ව සිටීමට සිදු  වුන Zlatan Ibrahimovic නැවතත් සිය ආබාධයෙන් පසුව කණ්ඩායමට එකතු වුනේ එහෙම කියමින්.

නමුත් ඔහු මේ ප්‍රකාශයෙන් තවත් මාස කිහිපයකට පසුව පාපන්දු ක්‍රීඩාවට සමුදෙන්න තීරණය කරනවා.

ඔබ පාපන්දු රසිකයකු නම් අනිවාර්යයෙන් ම Zlatan Ibrahimovicගේ නමවත් අඩු ම තරමින් අහලා තිබිය යුතුයි. එහෙම නැත්නම් ඔබට පාපන්දු ක්‍රීඩාව සෑහෙන්න දරුණු විදිහට මග හැරිලා තියෙන බව තමයි කනගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ.

Zlatan Ibrahimovicපසුගිය සතියේ සඳුදා (05) තමන් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට සමුදෙන්න තීරණය කළ බව Zlatan විසින් නිල වශයෙන් නිවේදනය කරනවා. නමුත් එ් වෙද්දී ඔහු දිනා ගත යුතු බොහෝ දෑ තමන් සතු කර ගෙන අවසානයි.

Zlatan කරපු දේවල්, දිනපු දේවල්, ඔහුට ලැබුණු දේවල් සහ පාපන්දු ක්‍රීඩාවට ඔහු ලබා දුන්නු මතක ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ හැම දෙයක් ම අතරේ Zlatan කියන ක්‍රීඩකයා කියපු දේවල් අමතක කළොත් ඒකත් Zlatanට කරන විශාල අපරාධයක්.

Zlatan කියන්නේ ඇඟට පතට නොදැනී කටින් වචන පිට කරන්න පුළුවන් පුද්ගලයෙක්. ඒ බව උදාහරණ වලින් ම සනාථ කරන්න තමයි මේ සූදානම!

  1. Zlatan උපත ලබන්නේ ස්වීඩනයේ දී. නමුත් Zlatanගේ දෙමාපියන් යුගොස්ලාවියාවේ (යුගොස්ලාවියාව හැදෙන්නේ බොස්නියාව සහ තවත් රටවල් හයක එකතුවෙන්. ඇත්තටම ඔවුන් සංක්‍රමණය වෙන්නේ බොස්නියා කොටසේ ඉඳන්) ඉඳලා ස්වීඩනය වෙත සංක්‍රමණය වුනු යුවළක්. ඒ නිසා Zlatanට යුගොස්ලාවියා සම්භවයකුත් තියෙනවා.

නමුත් Zlatan නම් කියන්නේ තමන්ට ඔය කිසිම ආභාෂයක් නැහැ කියලයි.

“ස්වීඩනයේ විදිහ? – නැහැ.

යුගොස්ලාවියා විදිහ? – කොහෙත් ම නැහැ.

ඒක Zlatanගේ විදිහ.”

  1. 2000 දශකය ආරම්භ වෙද්දී Zlatan පිළිබඳ ව යුරෝපයේ යම් කතාබහක් ගොඩ නැගිලා තිබුණා. ඒ නිසාම එවකට Arsenal කණ්ඩායම් කළමනාකරු වුන Arsene Wenger විසින් Zlatanව සිය කණ්ඩායම වෙනුවෙන් එකතු කර ගැනීමට පෙර ඔහුට සිය දක්ෂතා පෙන්වීමේ අවස්ථාවක් ලබා දෙනවා.

නමුත් Zlatan මේකට කැමති වෙන්නේ නැහැ.

” Zlatan පරීක්ෂණ වලට මුහුණ දෙන්නේ නැහැ.

ඔබ මාව දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම ඔබ මා ගැන දන්නේ නැත්නම් ඔබට ඇත්තටම මාව අවශ්‍ය වෙන්න විදියකුත් නැහැ.”

  1. හිටපු නොර්වේ ජාතික පාපන්දු ක්‍රීඩකයකු වෙන Jhon Crew විසින් වරක Zlatanව විවේචන කළේ Zlatan විසින් පාපන්දු ක්‍රීඩාවේ දී භාවිත කරන උපක්‍රම කිසිම තේරුමක් නැති විදිහේ ඒවා බව පවසමින්.

මේ ගැන නම් Zlatan වැඩි යමක් කිව්වේ නැහැ!

” Crew පාපන්දුවෙන් කරන දේ, මට දොඩම් ගෙඩියකින් කරන්න පුළුවන්.”Zlatan Ibrahimovic

  1. Zlatanගේ බිරිඳට පෙම්වතුන්ගේ දිනයේ දී තෑග්ගක් (සමහර තැන්වල දී මේක Zlatanගේ විවාහ ගිවිස ගැනීමේ දී කියලත් කියනවා.) දෙනවා ද කියලා ප්‍රශ්නයක් අහනවා.

“මොකක් ද ඔබ කිව්වේ ‘තෑග්ගක්?’.

ඇයට Zlatan ඉන්නවා.”

  1. Zlatanගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු PSG කණ්ඩායම සමඟ විශිෂ්ට කාලයක් ගෙවා දමනවා. ඔහු PSG සමඟ ගමන අරඹන්නේ 2012 වර්ෂයේ දී. ඔහු PSG සමඟ එකතු වෙන්න ප්‍රංශයේ පැරිස් නුවරට ගිය මුල් කාලයේ ජීවත් වුනේ තරු පහේ සුපිරි හෝටලයක කියලයි දැන ගන්න ලැබෙන්නේ.

Zlatan ඒ ගැන කිව්වේ මෙහෙම,

“අපි මහල් නිවාසයක් හොයනවා. නමුත් අපිට මොකුත් හොයා ගන්න බැරි වුනොත් මම හෝටලයක් මිල දී ගන්නවා.”

  1. Zlatan විසින් PSG සමඟ එක් වීමෙන් පසුව ඔහුට සුපිරි එංගලන්ත පාපන්දු ක්‍රීඩක David Beckham සමඟ ක්‍රීඩා කරන්නත් අවස්ථාව උදා වෙනවා.

“අපි ක්‍රීඩාගාරයේ දී ඔහුගේ Play List එක (ගීත) බැලුවා. ඒකේ Justin Bieber, Jonas Brothers සහ Selena Gomezගේ සිංදු ගොඩක් තිබුණා. David Beckhamටත් හැම දෙයක් ගැන ම හොඳ රස වින්දනයක් නැති බව දැන ගන්න ලැබීම සතුටක්.”

  1. 2015 වසරේ දී ඩෙන්මාර්කය සමඟ පැවැත්වුණු තරගයක දී ස්වීඩනය වෙනුවෙන් ගෝල දෙකක් වාර්තා කළ Zlatan විසින් 2016 Euro කුසලාන තරගාවලියේ තම රටේ ස්ථානය ස්ථීර කර ගන්න සමත් වෙනවා.

” ඔවුන් කිව්වා මාව විශ්‍රාම යවනවා කියලා, මම ඔවුන්ගේ මුළු ජාතිය ම විශ්‍රාම යැවුවා.”Zlatan Ibrahimovic

  1. 2014 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වෙනුවෙන් 2013 වර්ෂයේ දී ස්වීඩනය සහ පෘතුගාලය අතර පැවැත්වුණු තරගයකට පෙර රූපවාහිනී නිවේදකයෙකු සහ Zlatan අතර ඇති වුන සංවාදයක් පහතින් දැක්වෙනවා.

Zlatan: “දෙවියන් විතරයි දන්නේ කවුරු ඉදිරියට යාවි ද කියන්න.

නිවේදකයා: “ඔහුගෙන් එය අහන එක අමාරු දෙයක්”

Zlatan: ඔබ මේ කතා කරන්නේ ඔහු සමඟ තමයි.”

නමුත් අවාසනාවන්ත ලෙස ස්වීඩනය පෘතුගාලය හමුවේ මේ තරගය පරාජය වෙනවා. ඒත් සමඟින් ම ස්වීඩනයට 2014 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වෙනවා.

“මම නැති ලෝක කුසලානයක බලන්න දෙයක් නැහැ. ඒ නිසා ලෝක කුසලානය ආරම්භ වන තෙක් බලා හිඳීමේ තේරුමක් නැහැ.”

ඒ තමයි Zlatanගේ අවසන් තීරණය වෙන්නේ.

9.ඔහු Porsche මෝටර් රථයක් මිල දී ගන්නා බවට කටකතාවක් පැතිර යාමත් සමඟ ඔහු මේ විදිහේ ප්‍රකාශයක් සිදු කරනවා.

“ඇත්තටම නැහැ, මම ගුවන් යානයක් තමයි ඇණවුම් කළේ. ඒක ඊට වඩා වේගවත්.”

  1. 2012 Euro කුසලාන තරගාවලියෙන් ස්වීඩනය ඉවත් වීමත් සමඟින් මාධ්‍යවේදියෙක් විසින් Zlatanගෙන් තරගාවලියේ ඉදිරිය පිළිබඳ ව විමසනවා.

“මට කවුරු දින්නත් වැඩක් නැහැ. මම යනවා නිවාඩුවකට!”

  1. “මේ දිනවල පරිගණක ක්‍රීඩා කෙතරම් යථාර්ථවාදී වුනත්, Zlatanගේ ගෝලයක් තරම් ලස්සන ගෝලයක් ඒ වීඩියෝ ගේම් වලින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැහැ.”
  2. ඔහුගෙන් වරක අහනවා ලෝකයේ ලස්සන ම කාන්තාව කවුද කියලා.

“මට තවම ඇයව මුණ ගැහිලා නම් නැහැ. නමුත් මට ඇය මුණ ගැහුනාම මම ඇය සමඟ පෙම් හමුවකට යනවා.”

  1. ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල පාපන්දු ලීග් තරගාවලිවල දී දස්කම් දක්වපු Zlatanට එංගලන්තයේ Premier League තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ 2018 වසරේ දී Manchester United කණ්ඩායම සමඟ ඔහු එකතු වෙත තෙක් ම. ඔහු Man United සමඟ එක් වෙන්න පෙර ඒ ගැන දැරුවේ මේ විදිහේ අදහසක්.

” මම එංගලන්තයේ ක්‍රීඩා කළා නම් අනෙක් සෑම තැනක දී ම වගේ මම ඒකත් විනාශ කරලා දානවා.”Zlatan Ibrahimovic

  1. 2015 දී Chelsea සහ PSG කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයක දී Zlatanට රතු කාඩ් පතක් හිමි වෙනවා. ඒ සමඟම Chelsea ක්‍රීඩකයින් ඔහු වටා එකතු වෙනවා.

“මට රතු කාඩ් පත ලැබුණාට පස්සේ Chelsea ක්‍රීඩකයින් මගේ වටේ එකතු වුනා. ඒක මට හරියට දැනුණේ මගේ වටේ බබ්බු එකොළොස් දෙනෙක් ඉන්නවා වගේ.”

  1. PSG සමඟ සාර්ථක ක්‍රීඩා සමයක් ගෙවා දමපු Zlatan 2016 දී PSG වලට සමු දෙන්නේ මේ විදිහේ ප්‍රකාශයක් සමඟින්.

“මම ආවේ රජෙක් විදිහට, මම යන්නේ පුරාවෘත්තයක් විදිහට.”

  1. මේ වෙද්දී Manchester City පාපන්දු කණ්ඩායමේ කළමනාකරු විදිහට සේවය කරන Pep Guardiola 2008 – 12 කාලය තුල ස්පාඤ්ඤයේ Barcelona කණ්ඩායම සමඟයි වැඩ කළේ.

ඒ කාලය තුළ ම අපේ කතා නායකයා Zlatan Ibrahimovic Barcelona සමඟ එකතු වෙනවා.

නමුත් Zlatan නම් Barcelona සමඟ වැඩි කාලයක් රැඳෙන්නේ නැහැ. ඒ වගේ ම ඔහු Barcelona සමඟ රැඳුණු සීමා සහිත කාලය තුල පවා ඒ තරම් හොඳ සබඳතාවක් Guardiola සමඟ තිබුණේ නැහැ.

Zlatan විසින් Barcelona සමඟ ක්‍රීඩා කළ පළමු තරග 14 දී ගෝල 11ක් වාර්තා කරන්න සමත් වෙනවා. නමුත් ටිකෙන් ටික ඔහු හා Guardiola අතර ගැට‍ලු නිර්මාණය වෙනවා.

“Guardiola ඔහුගේ දාර්ශනික දේවල් කියන්න පටන් ගත්තා. මම ඒවා යාන්තමට අහගෙන හිටියා.”

Barcelona වල දී ක්‍රීඩකයින්ට Sport Car වලින් පුහුණු වීම් සඳහා පැමිණීම තහනම් කරලා තිබුණා සහ Zlatan ඒ ගැන කිසිම විදියකින් සතුටු වුනේ නැහැ කියලා කතාවක් තියෙනවා.

ඔහු ඒ ගැනත් පොඩි ඉඟියක් දෙන ගමන් ම Guardiola ගැන මේ විදිහේ අදහසක් පළ කරනවා.

“ඔබ මාව මිල දී ගනිද්දී ඔබ මිල දී ගන්නේ ෆෙරාරි මෝටර් රථයක්. ඔබ ෆෙරාරි එකක් පාවිච්චි කරනවා නම් ඔබ හොඳම පෙට්‍රල් (premium Petrol) භාවිත කළ යුතුයි.

Guardiola ඒක ඩීසල් වලින් පුරවලා ගම්බද පාරවල් වල ධාවනය කළා. ඔහුට Fiat එකක් මිල දී ගන්නයි තිබුණේ.”

ඒ වගේ ම 2016-18 කාලයේ Zlatan විසින් Manchester United කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ කාලයේ දී කණ්ඩායම් කළමනාකරු විදිහට වැඩ කලේ José Mourinho.

Zlatan පසු කාලයක දී Mourinho සහ Guardiola සම්බන්ධ කරමින් මේ විදිහේ ප්‍රකාශයක් සිදු කරනවා.

Jose Mourinho කියන්නේ Guardiolaගේ ප්‍රතිවිරුද්ධ චරිතය. Mourinho විසින් කාමරය ආලෝකමත් කරන විට, Guardiola විසින් කාමරයේ තිර රෙදි පහත දමනවා.”

Zlatan IbrahimovicZlatan විසින් නිතරම තමන් ව හඳුන්වා දුන්නේ “දෙවියෙකු” විදිහට.

Zlatan PSG කණ්ඩායම සමඟ හිටපු කාලයේ සිදු කරපු වීඩියෝ පටයක දී ඔහු විසින් හොඳම පාපන්දු කණ්ඩායම තෝරනවා. ඒ වෙනුවෙන් ඔහු Lionel Messiවත් ඇතුළත් කරනවා. ඒ වෙලාවේ දී ඔහු Messiව හඳුන්වලා දෙන්නේ දක්ෂ/ප්‍රතිභා පූර්ණ (Genius) ක්‍රීඩකයා විදිහට. නමුත් ඔහු ඒ කණ්ඩායමට තමන් ව ඇතුළත් කරමින් තමා ව හඳුන්වා දෙන්නේ දෙවියන් විදිහට.

සරලවම ඒ තමයි Zlatan Ibrahimovic කියන්නේ.

තමන්ට ඉහළින් කිසිවෙකුත් නැති බව ඔහු විශ්වාස කරපු ලෝකයක් ඇතුළේ ඔහු වචනාර්ථයෙන් ම  පුරාවෘත්තයක් බවට වෙන්න සමත් වුනා. ඔහුගේ පාපන්දු ජීවිතය ගැන නැවත හැරී බැලුවොත් ඒ බව වැටහේවී.

ඔබට කවදාක හෝ ක්‍රීඩකයකු ව අනුගමනය කරන්න හිතෙනවා නම් Zlatan ගැනත් පොඩි අවධානයක් යොමු කරලා බලන්න.

ජීවිතය ගොඩ නගා ගන්න අවශ්‍ය ආත්ම ශක්තිය සමහර විට ඔබට Zlatanගෙන් මුණ ගැහෙන්න පුළුවන්.

මොකද Zlatan Ibrahimovic කියන්නේ ජීවමාන දෙවියෙක්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<