රාජකීයයේ අභියෝගය තරිඳුගේ පිත්තෙන් මෙල්ල වෙයි

19න් පහළ දෙදින සුහද ක්‍රිකට් තරගාවලිය 2022

1190

කොළඹ රාජකීය විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ දෙදින සුහද පාසල් ක්‍රිකට් තරග අද (27) රාජකීය විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේ තරගය ආරම්භ කරන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය විද්‍යාලය, කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගෙන සිටි අතර ඔවුන් දිනයේ එකඳු හෝ පන්දුවක් සඳහා මුහුණ නොදී සිය ඉනිම අත්හිටුවා තර්ස්ටන් විද්‍යාල දෙවැනි ඉනිම සඳහා ආරාධනා කළා.

ලකුණු 92ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව පිටියට පැමිණි තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ඔවුන්ගේ කඩුලු රකින ආරම්භක පිතිකරු අයේෂ් හර්ෂණ පන්දු 199ක් තුල ලකුණු 96ක් ලබා ගත්තා. මනරම් 4 පහර 11කින් වර්ණවත් වුනු ඔහුගේ ඉනිම ශතකයට ලකුණු 4කට මෙපිටින් නවතාලීමට රාජකීය නායක වමතින් දඟපන්දු යවන ගිශාන් බාලසූරිය සමත් වුනා.

ඊට අමතරව තර්ස්ටන් නායක බවන්ත ජයසිංහ ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරමින් අගනා ලකුණු 45ක් ලබා ගත් අතර මේ නිසාවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 287ක් ලබාගෙන සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තර්ස්ටන් ක්‍රීඩකයින් සමත් වුනේ ලකුණු 196ක ඉලක්කයක් රාජකීය විද්‍යාලයට ලබා දෙමින්. එහි දී ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් බාලසූරිය මේ තරගය පුරාවට කඩුලු 9ක් දවාගෙන දස්කම් දැක්වීම කැපී පෙනුණා.

උවිඳු වීරසේකර රාජකීය දෙවැනි ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දෙමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් අතර 4 පහර 6ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුනා.

එහි දී 92.59ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන පන්දු 54ක දී නොදැවී සිය ලකුණු 50* ලබා ගැනීමට උවිඳු සමත් වුනා. දිනයේ සහ තරගයේ අවසානයේ දී පන්දුවාර 15ක් සඳහා මුහුණ දී සිටි රාජකීයන් සිය දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලබා ගත්තා.

අවසානයේ දී මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් කණ්ඩායම් දෙකෙන්ම සටන්කාමී ක්‍රීඩා විලාසයක් දැක ගැනීමට හැකියාව ලැබීම සතුටට කරුණක්.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 114 (33.5): උපුල් හෙට්ටිආරච්චි 32*, අසීම් මොහොමඩ් 27, ගිශාන් බාලසූරිය 4/33, වෙනුෂ අකාෂ් 3/22.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 206/4d (44): සදීෂ රාජපක්ෂ 103, සන්විඳු සෙනරත්ආරච්චි 43, Sසිනෙත් ජයවර්ධන 22.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම – 287/9d (88.5): තරිඳු හර්ෂණ 96, බවන්ත ජයසිංහ 45, තේනුක දේවප්‍රිය 39, ශානික්‍ය දේශප්‍රිය 33, ගිශාන් බාලසූරිය 5/44.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 83/2 (15): උවිඳු වීරසේකර 50*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<