සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සුපිරි ජයක්

295
රාජකීය විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති තරගයේ ඡායාරූපයක් ©ThePapare.com
රාජකීය විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති තරගයේ ඡායාරූපයක් ©ThePapare.com

සිංගර් වයස 19න් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (29) තරඟ කිහිපයක්ම අවසන් වූ අතර එහිදී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ඉණිමක හා ලකුණු 58ක ජයග්‍රහණයක් ලබා ගනිද්දී, තවත් පාසල් කිහිපයකටම පළමු ඉණිමේ ජයග්‍රහණ වලින් සෑහීමකට පත්වීමට සිදු විය.

පසුගිය ලිපි: සඳරුගේ මැජික් පන්දුව තර්ස්ටන් විදුහල ජයග්‍රහණයකින් සරසයි

කොළඹ ලුම්බිණි විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ඊයේ (28) බෙනඩික්ට් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය ජයග්‍රහණය කල බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. ඊයේ දිනයට තරඟය නවතා දමන විට ‍සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබා ගන්නා ලදි.

මෙම තරගයේ දෙවන දිනය වූ අද දිනය තුල දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 87ක් ලබා ගෙන තම පළමු ඉණිම ලකුණු 248කට අත්හිටුවීමට තීරණය කරන ලදි. එහිදී සුපිරි පිතිකරණයක නිරත වීමට මහේෂ් තීක්ෂණ සමත් විය. ඔහු මෙම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 61ක් ලබා ගන්නා ලදි.

පළමු ඉණිමේ පරාජයෙන් ගැලවීමට ලකුණු 154ක් ලුම්බිණි විද්‍යාලය විසින් ලබා ගැනීමට අවශ්‍යව තිබුණි. නමුත් පළමු ඉණිමේ මෙන් දෙවන ඉණිම තුලද ක්‍රියාත්මක වූ බෙනඩික්ට් පන්දු යවන්නන් ලුම්බිණි පිතිකරුවන්ට ලකුණු 100ක සීමාව පසුකර යාමට අවස්ථාව ලබා නොදුන් අතර කවීෂ ජයතිලක ලකුණු 24ක් තුල කඩුලු 5ක් දවාලමින් දක්ෂතා දක්වන ලදි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලීය පළමු ඉණිම – 248/08 (79.5): මහේෂ් තීක්ෂණ 61, දිනිත බස්නායක 53, දුලන්ත ලෙවිස් 51, කනිෂ්ක මධුවන්ත 5/69

ලුම්බිණි විද්‍යාලය දෙවන ඉණිම – 96/10 (36.5): තානුක දාබරේ 22, කවීෂ ජයතිලක 5/24

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඉණිමක හා ලකුණු 58ක ජයක්


කොළඹ රාජකීය විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරඟය

රාජකීය පිටියේදී කාසියේ වාසිය දිනා ගත් සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. තරගයේ දෙවන දිනය අද (28) ක්‍රියාත්මක වූ අතර, අද දිනයට තරඟය ආරම්භ කරන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 70ක් ලබා ගැනීමට සමත්ව තිබුනි.

සෙබස්තියන් විද්‍යාලයේ අවසන් පිතිකරුවන් කිහිපදෙනා මුල් පෙළ පිතිකරුවන්ට සාපේක්ෂව හොඳින් පිතිකරණයේ නිරත විය. අද දිනය තුල ඔවුන්ගේ අවසන් කඩුලු 4 දැවී ලකුණු 82ක් ලබා ගැනීමට සෙබස්තියන් විද්‍යාලය සමත් විය. අවසානයේ ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 152කට සීමා විය.

ලකුණු 75ක වාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල රාජකීය පිතිකරුවන් පළමු ඉණිමට සාපේක්ෂව හොදින් පිටියේ ස්වභාවය අවබෝධ කරගෙන පිත්තෙන් දස්කම් දක්වන ලදි. එහිදී තිවිදු සේනාරත්න ලකුණු 94ක් ලබාගෙන රාජකීය දෙවන ඉණිම සවිමත් කරන ලදි. තිවිදුට සහය ලබා දෙමින් අනෙක් අන්තය ආරක්ෂා කරගෙන හේලිත විතානගේ ලකුණු 61ක් ලබා ගන්නා ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 152/10 (48.3): අශීර් වර්ණකුලසූරිය 40, අවිශ්ක ප්‍රනාන්දු 25, හේලිත විතානගේ 3/25, ගෞතම රණසිංහ 2/32, හිමේශ් රාමනායක 2/38

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – 264/10 (71.5): තිවිදු සේනාරත්න 94, හේලිත විතානගේ 61, ප්‍රවීන් ජයවික්‍රම 3/80, අවිශ්ක ප්‍රනාන්දු 2/32, නුවනිදු ප්‍රනාන්දු 2/43

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 227/10(62.1): ලකිඳු නානායක්කාර 50, කවිදු මදාරසිංහ 49, කවීන් විජේරත්න 46, හිමේශ් රාමනායක 26, සොනුක ජයවර්ධන 22, ප්‍රවීන් ජයවික්‍රම 4/50, නිමේෂ් බණ්ඩාර 4/56

රාජකීය විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයක්


බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කඳාන ද මැසිනොද් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඊයේ (28) ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත පීතර විද්‍යාලය පළමුව පිතිකරණයට අවස්ථාව ලබා ගන්නා ලදි.

අද දිනයට තරඟය අරම්භ කරන විට, ද මැසිනොද් විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 5ක් දැවී ලකුණු 94ක් ලබාගෙන සිටි අතර මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් ශැන්ගීත් දේශාන් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය. මොහොමඩ් අමීන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35ක් තුල කඩුලු 4ක් දවාලන ලදි.

පළමු ඉණිමට ලකුණු 21ක අවාසියක් ද ඇතිව පිටියට පැමිණි සාන්ත පීතර විද්‍යාලය තම දෙවන ඉණිම සඳහා ලකුණු 275ක්, දෙවන දිනය අවසානයේ වාර්තා කරන ලදි. එවැනි හොඳ ලකුණු මට්ටමකට යාමේදී ලකුණු පුවරුවේ වැඩි ගෞරවය දිනාගැනීමට මනේකාර් ද සිල්වා සමත් වූ අතර ඔහු ලකුණු 169ක් ලබා ගනිමින් හොඳ ඉණිමක් ක්‍රීඩා කරන ලදි.

ද මැසිනොද් විද්‍යාලය පළමු ඉණිම – 164/10 (67): ශැන්ගිත් දේශාන් 41, මොහොමඩ් අමීන් 4/35

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – 275/08 (58.4): මනේකාර් ද සිල්වා 169, මිතිල ගීත් 2/22

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – 143/10 (54): සන්තුෂ් ගුණතිලක 65*, අශේන් ප්‍රනාන්දු 3/28, ශසීන් ප්‍රනාන්දු 2/13

ද මැසිනොද් විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයක්


මරදාන සහිරා විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරඟය  

මෙම තරඟයද ඊයේ (28) සහිරා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් සහිරා කණ්ඩායම පළමුව පිත්ත අතට ගන්නා ලදි.

පළමු ඉණිම වෙනුවෙන් සජිත් සමීර ලකුණු 78ක් තම ලකුණු පුවරුවේ සටහන් කරද්දී ඔහුට සහය ලබා දුන් මොහොමඩ් ශමාස් ලකුණු 65ක් ලබා ගන්නා ලදි. අවසානයේ ඔවුන් තම පළමු ඉණිමට ලකුණු 204ක් ලබා ගන්නා ලදි.

සහිරා විද්‍යාලය තම පළමු ඉණිමට ලබා ගත් ලකුණු 204ට පිළිතුරු ලෙස ලකුණු 199ක් තම පළමු ඉණිමට ලබා ගැනීමට ධර්මරාජ විද්‍යාලය සමත් විය. ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් නිවන්ත හේරත් ලකුණු 57ක් ලබා ගන්නා ලදි.

සහිරා විද්‍යාලය පළමු ඉණිම – 204/10  (55.3): සජිත් සමීර 78, මොහෙමඩ් ශමාස් 65, නලින්ද සූරසිංහ 24, රුක්මාල් දිසානායක 4/69, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/34, ගිහාන් විතාරණ 2/35

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම – 199/10 (52.5): නිවන්ත හේරත් 57, දේශාන් ගුණසිංහ 34, උදන්ත අමරකෝන් 28, සජිත් සමීර 5/71, රුවන් නසීර් 3/46

ලකුණු 5ක පළමු ඉණිමේ වාසියක් ඇතිව තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල සහිරා විද්‍යාලයේ පිතිකරුවන් ලකුණු 275ක් සටහන් කරගනිද්දී දෙවන දිනයට නියමිත කාලය අවසන් විය. දෙවන ඉණිමේ දක්ෂතා දැක්වූ මොහොමඩ් නජිත් ලකුණු 120*ක් නොදැවී ලබා ගන්නා ලදි.

සහිරා විද්‍යාලය දෙවන ඉණිම – 275/09 (70): මොහොමඩ් නජිත් 120*, මොහොමඩ් ඩිල්හාන් 68, සජිත් සමීර 53, රැක්මාල් දිසානායක 5/83

සහිරා විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයක්

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට