ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

622

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් මූලික වටයේ තරගය අද (11) උදෑසන හොංකොං හි කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 22-12ක් ලෙසින් තරගය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දෙවන දිනයේ ප්‍රථම තරගය ලෙස පැවති මෙම තරගය දෙපිලටම වැදගත් තරගයක් වූයේ කණ්ඩායම් දෙකම මේ වන තෙක් අපරාජිතව සිටි නිසාවෙනි.

මීදුම් සහිත කාලගුණයක් යටතේ තරගය ආරම්භ වූ අතර තරග ආරම්භයෙන් මිනිත්තුවක් ගතවන්නටත් මත්තෙන් අවිශ්ක ලී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. මනරම් පන්දු හුවමාරුවක් සමඟින් මීටර් 22 සීමාව අතික්‍රමණය කරමින් ලී පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය හරිත් බණ්ඩාර විසින් සාර්ථක කරගත්තේය. (07-00)

සමඟින්ම සිංගප්පූරු ආරක්ෂක බැම්ම තරමක් තර කර ගනිමින් ශ්‍රී ලංකා ඉදිරිපෙළ හමුවේ එක දිගට සටන් කරන්නට වූ සිංගප්පූරු ක්‍රීඩකයන් ක්ෂණයෙන් ලද වාසියක් උත්සාහක දිනුමකට පරිවර්තනය කරන්නට සමත් විය. බාවෝ-යූ-ආන් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර ලූකා මිග්නොට් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (07-07)

තියුණු මුහුණුවරකින් දිවෙන තරගය අතරතුර උත්සාහක දිනුම් අවස්ථා කිහිපයක්ම ව්‍යර්ථ වී ගිය අතර පන්දු ගිලිහී යෑම් කිහිපයක් ද දෙපිලෙන්ම දක්නට ලැබුණි. මිනිත්තු කිහිපයක නිහැඬියාවකින් පසු උරහිසේ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වූ ලීගේ ආදේශනය වූ හේෂාන් ජැන්සන් තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දුන්නේය. ජනිදුගේ අලංකාර පන්දු පාලනයත්, ජැන්සන්ගේ අවබෝධයත් නිසා වාර්තා වුන මෙම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක විය. (12-07)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 12 – 07 සිංගප්පූරුව

දෙවන අර්ධයේ දිගු කාලයක් පුරාවට දෙපිලේම ආරක්ෂක බැමි තරව තිබුණු අතර ශ්‍රී ලංකා නායක නවීන් හේනකන්කානම්ගේ දෙවැනි අර්ධයට ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ තවත් උත්සාහක දිනුමක් ලකුණු පුවරුවට එක් කරමිනි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (17-07)

තවත් මිනිත්තු කිහිපයකින් තරගය ඉදිරියට යත්ම ක්‍රීඩක ආදේශන කිහිපයක්ම සිදු විය. කෙසේ නමුත් තරගයේ මීළඟ උත්සාහක දිනුමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් වාර්තා කිරීමට සමත් වූ අතර අලංකාර පන්දු හැසිරවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිදු ඩිල්ෂාන් ධවල රේඛාව හරහා ගමන් කරමින් සිංගප්පූරු කණ්ඩායමෙන් ජයග්‍රහණය තවත් ඈත් කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (22-07)

තරගයේ අවසන් මිනිත්තුව ගතවෙත්ම සිංගප්පූරු ක්‍රීඩකයන් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් පැති රේඛාව අසලින්ම ඊතන්- යූ- ආන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුවත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (22- 12)

ඒ සමඟින් ශ්‍රී ලංකාව අපරාජිතව A කාණ්ඩයේ ප්‍රථමයා වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය:  ශ්‍රී ලංකාව 22 (4T 1C) – 12 (2T 1C)  සිංගප්පූරුව

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව: ජනිදු ඩිල්ෂාන් 1T, නවීන් හේනකන්කානම්ගේ 1T, හේෂාන් ජැන්සන් 1T, අවිශ්ක ලී 1T, හරිත් බණ්ඩාර 1C
  • සිංගප්පූරුව: බාවෝ-යූ-ආන්  1T, ඊතන්-යූ-ආන් 1T, ලූකා මිග්නොට් 1C

පළමු අවසන් පූර්ව තරගය උදෑසන අද 11.05ට ආරම්භ වීමට නියමිත අතර එම සියලු තරග සජීව ලෙස ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<