දිරියෙන් SAG තුන් පිම්ම දින්න ජාතික ශූරිය – විදූෂා

209

ශ්‍රී ලාංකීය මලල කෙළිබිමේ දක්ෂතා දැක්වූවන් අතර ඉදිරියෙන්ම කියවෙන නමකි, විදූෂා ලක්ෂානි. බාලිකා තුන් පිම්ම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිය වන ඇය ගැන ThePapare.com තබන සටහනකි මේ. 

ශ්‍රී ලාංකීය මලල කෙළිබිමේ යකඩ සෙබලිය “ලක්ෂිකා”

රයිගම් කොරළයෙන් මලල කෙළිබිමට පිවිසි ලක්ෂිකා සුගන්ධි ……….

අපි ඇයගේ කතාව 2019 නේපාලයේ පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පටන් ගනිමු. එම තරගාවලියේ තුන්පිම්ම ඉසව්වේ බලාපොරොත්තු තබා සිටි ක්‍රීඩිකාව වූයේ විදූෂා ලක්ෂානි. ඒ ඇය එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මෙන් ම ඒ වන විට දෝහා කටාර් හී පැවති 23 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මෙරටට පදක්කමක් ගෙනා එකම ක්‍රීඩිකාව වීම ද නිසා. නමුත් තරගයට දින ගණන් කරමින් සිටිය දී විදූෂා ද උණ රෝගයට ගොදුරු වූවන්ගේ ගොඩට වැටුණා.

ඒ වන විට සුළු ආබාධ තත්ත්වයකින් ද පසු වූ ඇයට වැළඳුණ උණ රෝගය ද හේතුවෙන් තම ඉසව්ව අහිමි වීමේ අවදානමක් පැවතියා. තත්ත්වය තරමක් උත්සන්න වීම හේතුවෙන් නේපාලයේ සිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් කළේ විදූෂා වෙනුවට එම ඉසව්වට හෂිනි ප්‍රබෝධා එක් කිරීමයි. එසේ වූවත් විදූෂාගේ තත්ත්වය වරින්වර සැලකිල්ලට ගැනීමට ඔවුන් කටයුතු කළා. අසනීප තත්ත්වය තරමක් සුව වෙද්දී ඇය අපහසුවෙන් වුව තම ඉසව්වට සහභාගී වීමට බලධාරීන්ගෙන් අවසන් ඉල්ලා සිටියා. 

එකී අවසරය මත ඇය ප්‍රබෝධා සමඟ තමන්ට සුපුරුදු සහභාගී වුනා. තරගය අවසන් වෙන්නේ ප්‍රබෝධාට රන් පදක්කමත්, විදූෂාට රිදී පදක්කමත් හිමිකර දෙමින්. 

එදා අසනීප තත්ත්වය හේතුවෙන් තමන්ගේ ඉසව්වේ තරමක් පසු බැසීමට විදූෂාට සිදු වූව ද ඇය ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබන්නට පටන් ගත්තේ 2019 දෝහා කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේ දී පැවති 23 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ පෑ දක්ෂතාත් සමඟින්. එදා එම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනූ එකම ක්‍රීඩිකාව වන්නේ විදූෂා ලක්‍ෂානි. එහි දී ඇය තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. ඒ 13.53 ක දුරක් වාර්තා කිරීමට සමත් වෙමින්. 

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන ආසියානු මහද්වීපයේ බාලිකා තුන් පිම්ම ඉසව්වෙන් පළමු තුන්දෙනා අතරට ශ්‍රී ලංකාවේ විදූෂා ලක්ෂානි පැමිණියේ බොහෝ ගිරිදුර්ඝ පසු කරමින්. මේ ගිරිදුර්ඝ පසු කිරීම තරගයක යෙදෙනෙවාටත් වඩා අමාරු වුනා. 

එහෙත් විදූෂා ඒ සියල්ල විඳ දරා ගත්තා. දෝහා කටාර් තරගාවලියට විදූෂා නම් කිරීම ම බොහෝ දෙනෙක් දුටුවේ වැරදියට. මේ නිසාම ඇය තරගාවලියට සහභාගී කරවීම ද එකල බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා. 

මේ නම් කිරීම නිසා ක්‍රීඩා බලධාරීන් ද විවිධ අපහසුතාවන්ට ලක් වුනා. ඔවුන් විදූෂා තෝරා ගැනීමට වන සාධාරණ හේතු පැවසූව ද ක්ෂේත්‍රයේම ඇතැමුන්ගේ දොස් නැගීම් අඩුවක් වූයේ නැහැ. මේ සියල්ලට පිළිතුරු දීමට විදූෂාගේ ඉසව්ව අවසන් වන තෙක් සිටීමට විදූෂාට සේ ම ක්‍රීඩා බලධාරීන්ට ද කල් මරන්නට සිදු වුනා. අවසානයේ දී ඇය ඔවුන්ගේ සියලු දොස් පදක්කමකින් නිමා කිරීමට සමත් වුනා. 

එහෙත් ඒ සතුට ඇයට සිත් සේ විඳ ගැනීමට ඉඩක් තිබුණේ නැහැ. ඇය මේ ජයග්‍රහණය ලබද්දී අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇය ඉගනුම ලැබූ පාසලේ ඇයත් සමඟ එකට ඉගනුම ලැබූ සහෝදර සිසුවියන් සේ ම, පාසලේ සිසු සොයුරියන් ද, ගුරුවරියන් කිහිප දෙනෙක් ද ඊට ගොදුරුව සදා කාලිකවම දෙව් මව් තුරුලට ගොස් සිටියා. 

දෝහා රටේ දී ශ්‍රී ලංකා ධජය ඉහළට ඔසවමින් තමන් රටට කීර්තියක් රැගෙන ආව ද, ඇය එම පදක්කමත් සමඟින් මෙරටට ගොඩ බැස්සේ අඩකුඹු කර තිබූ ජාතික ධජයක් යට. ඇය මෙරට ට පය තැබූවේ 43 දෙනෙක් සමඟ සහභාගී වූ තරගාවලියේ එකම පදක්කම්ලාභිනිය ලෙසයි. එහෙත් ඇය ගුවන් තොටුපොළේ දී පිළිගැනීමට පැමිණ සිටියේ තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලලාභීන් කිහිප දෙනෙක් පමණි. 

කෙසේ වෙතත් ඇයට එහි එතරම් ම හැඟීමක් තිබුණේ නැහැ. ඇයට අවශ්‍යව තිබුණේ වියෝ වූ තම හිතෛෂීන් මුණ ගැසී ඔවුනොවුන් සමඟ දුක බෙදා ගන්න. ජාති සහ ආගමික ලෙසින් බෙදී වෙන්ව යෑමට නිර්මාණය වෙමින් පැවති තම ගමට සාමය රැගෙන යන්න. 

ඇයට ඒ හැකියාව උපතින්ම පිහිටා තිබුණා. ඒ ඇය බෞද්ධ පවුලක දියණියක් වූ නිසා. කිතුනු පසුබිමක් සහිත මේ ගමේ, සුළුතරයක් වූ සිංහල බෞද්ධ පවුල් අතර විදූෂාට හිමි වුනේ විශේෂිත තැනක්. ඊට ඇය ඉගනුම පාසල් පරිසරයත් ඉවහල් වුනා. ඇය පළමුව ඉගෙන ගත්තේ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයෙන්. පසුව ඇය ඉහළ අධ්‍යාපනය ලැබීමටත්, ක්‍රීඩා කටයුතු වෙනුවෙනුත් නිව්ස්ටඩ් බාලිකාවට ඇතුළත් වෙනවා. මේ නිසා ඇය ඇසුරු කළ බොහෝ දෙනෙක් කිතුනුවෝ වුනා. 

අපි අපේ පාසලේ දී සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික කිසිදු බේදයකින් තොරව ඇසුරු කළා. ඒ වගේම අපේ ගමේදිත් මේ හැමෝම අපි එකට හිටියා. සතුටින් හිටියා. අපි එකිනෙකාට උදව් කරගත්තා. ඒත් මොකක්ද මේ වුනේ? අපි එකම රටේ මිනිස්සු. ඇයි අපි ගහ මරා ගන්නේ. අපි එකාමෙන් අත්වැල් බැඳගෙන මේ දේවල් නවත්තන්න ඕන. සාමකාමීව, ජාති බේදයක් නැතිව එකා වගේ මුහුණ දෙන්න ඕන.” විදූෂා මේ සිදුවීමෙන් අනතුරුව ලැබූ ජයග්‍රහණයත් සමඟින් ThePapare.com වෙත පවසා තිබුණා. 

ඉඳුනිල්, ආයු රක්ඛන්තු ආවඩා!

ආයු රක්ඛන්තු ආවඩා! ඉතිහාසයේ ශාන්තිකර්ම වල භාවිතා වූ එම පද වැල එක් යුගයක ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වදන් පෙළ බවට පත්ව ……

විදූෂා මලල ක්‍රීඩා පිටියේ අභිෂේක ලබන්නේ නිව්ස්ටඩ් බාලිකාවේ සිටිය දී. ඇය 2015 දී පාසල් ක්‍රීඩිකාවක් ලෙසින් තුන් පිම්ම බාලිකා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වෙනවා. ඒ වෙද්දී ඇයට වයස අවුරුදු 19ක්. එදා ඇය මීටර් 13.22ක දුරක් තරණය කරනවා. ඒ වසරේ දී ම නැවත වතාවක් මීටර් 13.49ක් දුර පනිමින් ඇය තම වාර්තාව නැවත වතාවක් අලුත් කරනවා. 

97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගිය වසරේ දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමා වෙද්දී ශ්‍රී ලංකා වාර්තා 3ක් බිහි වෙනවා. ඒ අතුරින් එකක හිමිකාරීත්වය ලැබීමට විදූෂා ලක්ෂානි සමත් වූවා. ඒ ඇයට සුපුරුදු ඉසව්ව වන තුන්පිම්ම ඉසව්වෙන්. එහි දී ඇය මීටර් 13.66ක දක්‍ෂතාවක් දක්වනවා. ඒ තමන්ගේ ම වාර්තාව නැවත අලුත් කරමින්. 

2020 මලල ක්‍රීඩාවට කොහොම ද?

2020 වසර සඳහා වන මලල ක්‍රීඩා කාලසටහන …….

ඇයගේ ආරම්භක පුහුණුකරු වූයේ පිලිප් රංජිත් මහතා. ඔහු යටතේ දිගු කාලයක් පුහුණුවීම් ලැබූ විදූෂා මේ වන විට පුහුණුව ලබන්නේ කියුබානු ජාතික ලුවිස් මිරෙන්ඩා මහතා යටතේ. 

පාසල් කාලයේ දී ඇය 2013 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී තුන් පිම්ම ඉසව්වේ දී රන් පදක්කම ද 2014 වසරේ දී ආසියානු කනිෂ්ඨ සූරතාවලියේ දී ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වෙනවා. 

අනතුරුව ඇයගේ දක්ෂතා ලැයිස්තු ගත වෙන්නේ 2015 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී තුන් පිම්ම 7 වැනි ස්ථානය, 2016 ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම, 2017 වසරේ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කම සහ 2017 වසරේ ඉන්දියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි ස්ථානය, 2018 ඉන්දුනීසියාවේ පැවති ආසියානු ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් ලෙසින්.  

මේ ජයග්‍රහණ පිටුපස පාසල් පුහුණුකරු, කියුබානු පුහුණුකරු, මලල ක්‍රීඩා සංගමය, ඔලිම්පික් කමිටුව සහ ඇය නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදාව ද සිටී. ඔවුන්ගේ සහයෝගයෙන් යුක්තව එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන පරිසාධන මට්ටමට ළඟා වීම ඇයගේ ප්‍රධාන ඉලක්කය වී ඇත. ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ ද එය ම ය. 

ඔවුන්ගේ එම බලාපොරොත්තුව සඵල වේවායි ThePapare.com සුබ පතමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<