බංග්ලාදේශය ‘bio-bubble’ ක්‍රමවේදය කඩ කරයි

866
Bangladesh Tour of Sri Lanka 2020

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) විසින් පසුගිය සඳුදා (21) සිට ඔවුන්ගේ ක්‍රීඩකයින් සඳහා පනවා තිබූ ‘bio-bubble’ ක්‍රමවේදය කඩ කිරීමට තීරණය කර ඇත.

ඒ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය නැවුම්ව තබා ගැනීම අරමුණු කොටගෙන ඔවුන්ට සිය පවුලේ උදවිය සමඟ කාලය ගතකිරීම උදෙසා දින 3ක නිවාඩුවක් ලබා දීමට තීරණය කළ බව එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර සිටීමත් සමඟයි. 

එළඹෙන ටෙස්ට් තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා සංචාරයට සූදානම් වීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස පසුගිය ඉරිදා (20) සිට තෝරාගත් ක්‍රීඩකයින් 27 දෙනෙකුගේ සංචිතයකට නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට ඔවුන් කටයුතු කරනු ලැබීය. දෙරට අතර පවත්වනු ලබන එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එළඹෙන ඔක්තෝබර් මස 23 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඒ අනුව ඔවුන් ඊට සහභාගී වීමට අද (27) දිනයේ දී ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට සැලසුම් කර තිබුණි. 

කෙසේ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ එම සැලැස්මට අනුව කටයුතු කිරීමට අපොහොසත් වූ අතර ඒත් සමඟම ශ්‍රී ලංකාව තුළට පැමිණීමෙන් අනතුරුව අනුගමනය කළ යුතුව ඇති අනිවාර්ය දින 14ක නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමට ඔවුන් අකැමැති වීමත් සමඟ ක්‍රීඩකයින් එරට බලා රැගෙන යාමට නියමිතව තිබූ ගුවන් ගමන ද අවලංගු කරන්නට ඔවුන් කටයුතු කරනු ලැබීය. 

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන වෛද්‍යවරයා වන Debashish Chowdhury විසින් ඊයේ (26) Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඔවුන්ගේ ක්‍රීඩකයින් හට අදාළ හෝටල් වලින් පිටතට පැමිණීමට අවසර ලබා දීම හරහා ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවති ‘bio-bubble’ ක්‍රමවේදය කඩ වීමට ලක්වන නමුත් ක්‍රීඩකයින්ගේ මානසික තත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන් එම තීරණය ගැනීමට යොමු වූ බවයි. 

කෙසේ නමුත් ක්‍රීඩකයින් හට COVID-19 පරීක්‍ෂණ සිදු කිරීමේ නව දින ද ඇතුළත්ව සියලුම කටයුතු නැවතත් මුල සිට ආරම්භ කිරීමට ඔවුන් සතුව ප්‍රමාණවත් තරම් කාලය ඇති බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් Debashish පවසා සිටින්නට විය. 

“අපිට අපේ ක්‍රීඩකයින්ගේ මානසික තත්වය ගැනත් හිතලා බලන්න වෙනවා. මොකද ඔවුන්ගේ ජීවිතේ පළවෙනි වතාවට ‘bio-bubble’ එක තුළ ඉන්න වීමත් එක්ක ඔවුන් ගොඩක් අවුල් වෙලා හිටියේ. ඉතින් මේ හරහා මේ වෙනකන් තිබ්බ ‘bio-bubble’ එක කඩ වුණා කියන එක ඇත්ත. ඒත් ඔවුන්ගේ ගෙවල් වල ඉඳන් ක්‍රීඩකයෝ ආයේ හෝටලයට ආවට පස්සේ අපිට පුළුවන් නැවතත් අලුත් ‘bio-bubble’ එකක් ආරම්භ කරන්න. 

ඒ වගේම අපිට නැවතත් ඔවුන්ව COVID-19 පරීක්‍ෂණවලට ලක්කරන්න වෙනවා. මොකද කලින් පරීක්‍ෂණ වලංගු විදිහට ගැනෙන්නේ නැහැ ඒවා අතර තිබ්බ දීර්ඝ කාල සීමාවත් එක්ක.”

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට පැය 72ක කාලයකට පෙර සිදුකිරීමට නියමිතව සිටි අවසන් COVID-19 පරීක්‍ෂණය එහි දී ඔවුන් සිදුනොකළ බව ද Debashish මෙහි දී තහවුරු කරනු ලැබීය. 

තවත් ක්‍රිකට් පුවත්:

ක්‍රීඩකයින් සහ කණ්ඩායමේ සහය කාර්යමණ්ඩලය හුදකලා කර තැබීම අරමුණු කරගෙන ක්‍රීඩකයින්ට එම අදාළ හෝටලය තුළ වෙනම එක් මහලක් වෙන්කර තිබූ අතර අනෙක් පසින් එහි දී ඔවුන්ට ආහාර පාන ලබා දෙනු ලැබුවේ ද වෙනත් මහලක ඉතා දැඩි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරමිනි. එමෙන්ම තවදුරටත් ‘bio-bubble’ එක යටතේ හෝටලය තුළ මෙන්ම පුහුණු සැසි අතරතුර Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ ද සංචිතයේ ක්‍රීඩකයින්ගේ සංචලනය සීමා කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබුණි. 

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ උපදෙස්වලට අනුව සංචිතයේ ක්‍රීඩකයින් සමඟ කටයුතු කරනු ලැබූ හෝටල් කාර්ය මණ්ඩලය ද COVID-19 පරීක්‍ෂණවලට ලක්කෙරුණු අතර ක්‍රීඩකයින් හෝටලය තුළ රැඳී සිටින තාක් ඔවුන්ට රැඳී සිටීමට සැලැස්වුනේ ද වෙනම නිදන ශාලාවක වේ. ඊට අමතරව ක්‍රීඩකයින්ව හෝටලයේ සිට ක්‍රීඩාංගණය බලා රැගෙන ගිය රියදුරන්ට පවා COVID-19 පරීක්‍ෂණ සිදු කෙරුණු අතර ඔවුන් ද එම කාලය තුළ සිය පවුල් වලින් වෙන්ව වාසය කරනු ලැබීය. 

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පළමුව ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, COVID-19 වසංගතයේ පැතිර යාම හේතුවෙන් එය කල් දැමීමට කටයුතු කෙරිණ. 

කිසිදු බාධාවකින් තොරව ඉදිරි කටයුතු සිදුවුවහොත් ඔවුන් ඔක්තෝබර් මස 07 සිට 10 අතර දිනයක දී ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට දැන් සැලසුම් කරමින් සිටින නමුත් එරට දින 14ක අනිවාර්ය නිරෝධායන කාලය පිළිපැදීමට අදාළව තමන් දක්වා ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් (SLC) මේ වන තෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී Akram Khan ඊයේ දිනයේ දී අදහස් දක්වමින් පවසා සිටියේ ය. 

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<