ශ්‍රී පඤ්ඤානන්ද ක්‍රීඩකයින් පරදවා හරිස්චන්ද්‍ර ක්‍රීඩකයින්ට දැවැන්ත ජයක්

616

රද්දොළුගම ශ්‍රී  පඤ්ඤානන්ද විද්‍යාලය සහ මීගමු හරිස්චන්ද්‍ර ජාතික පාසල අතර 08 වැනි වරටත් පැවති මහා එක්දින තරගයෙන් ශ්‍රී පඤ්ඤානන්ද ක්‍රීඩකයින් පරදවා ලකුණු 224ක දැවැන්ත ජයක් ලබා ගැනීමට හරිස්චන්ද්‍ර ක්‍රීඩකයින් සමත් වුනා.

කටුනායක ආයෝජන මණ්ඩල ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හරිස්චන්ද්‍ර ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 250ක් ලබා ගත්තා.

හරිස්චන්ද්‍ර පළමු කඩුල්ල සඳහා ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසු දේවින්ද දර්ශන ලකුණු 21කට දැවී ගිය අතර සචිත ගිම්හාන ලකුණු 15ක් රැස් කළේ පන්දු 79කට මුහුණ දෙමිනුයි.

කණ්ඩායමේ වගකීම සියතට ගත් නායක තීක්ෂණ සිල්වා පන්දු 71ක් තුළ ලකුණු 49ක් රැස් කරද්දී, කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ශකිල අශේන් පන්දු 76ක් තුළ හතරේ පහර 12ක් සමඟ නොදැවී ලකුණු 89ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පඤ්ඤානන්ද කණ්ඩායම වෙනුවෙන් දිනුක ආලෝක ලකුණු 36කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර යසින්ත සේමාල් ලකුණු 41කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පඤ්ඤානන්ද ක්‍රීඩකයින්ගේ පළමු කඩුලු තුන ලකුණු 7ක් තුළ දවා ගැනීමට තීක්ෂණ සහ සචිතට හැකි වුනේ දිනුක ආලෝක, සිතුම් විමර්ශන සහ මදූප සුදේෂ් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගෙනයි.

ඉන්පසුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට ඉඩ ලබා නොදුන් හරිස්චන්ද්‍ර පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන ක්‍රීඩා විලාශය නිසා පඤ්ඤානන්ද ඉනිම ලකුණු 26කට සීමා වුනා.

පඤ්ඤානන්ද කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ හරිත දිනේන්ද්‍ර ලකුණු 06ක් ලබා ගත් අතර සචින්ත සඳරුවන් සහ අචින කනිල් ලකුණු 4 බැගින් දවා ගත්තා.

පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වූ හරිස්චන්ද්‍ර කණ්ඩායම වෙනුවෙන් සචිත ගිම්හාන ලකුණු 6කට කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් රශේන් සාලිංග ලකුණු 15කට කඩුලු 4ක් දවා ගත්තා.

  • හරිස්චන්ද්‍ර විද්‍යාලය – 250/5 (50): ශකිල අශේන් 89*, තීක්ෂණ සිල්වා 49, දිනුක ආලෝක 3/36.
  • ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය – 26/10 (12.5): හරිත දිනේන්ද්‍ර 06, සචිත ගිම්හාන 5/6, රශේන් සාලිංග 4/15.

හරිස්චන්ද්‍ර ජාතික පාසලට ලකුණු 224ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<