SABA කුසලාන පැසිපන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් ක්‍රීඩා කළ දෙවන තරගය ද ප්‍රබල ඉන්දියාව හමුවේ පරාජයට පත්වන්නට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තුල ලද දෙවන පරාජයයි මෙයයි.

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම පරාජයට

දකුණු ආසියානු පැසිපන්දු සංගමය හා ජාත්‍යන්තර පැසිපන්දු සංගමය එක්ව 5වන වරටත් සංවිධානය…

2015 අවසන් මහා තරගයේ නැවත විකාශයක් බදු වූ මෙම තරගයේ පළමු අර්ධයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ මට්ටමක තිබුණි.SL VS IND 1

අවසන් වරට ශ්‍රී ලංකාව හා ඉන්දියාව SABA කුසලාන තරගාවලියක් තුල මුණ ගැසුණු අවස්ථාවේ දී 93-44ක් ලෙස දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට උරුම විය.

කෙසේ නමුත් එම කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම කණ්ඩායමට ද ඇතුළත් වී සිටියේය. එහි දී  (2015) සත්කාරක ඉන්දියාව තම තෙවන SABA ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකාව SABA කුසලාන තරගාවලියක දැක්වූ ඉහළම දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට මනාව අවතීර්ණ වූ බවක් පෙනෙන්නට වූ අතර ඉන්දියාව තම පළමු ලකුණ ලබා ගන්නා විට ශ්‍රී ලංකාව ලකුණු 5ක් ලබාගෙන ඉදිරියෙන් පසු විය. නමුත් පළමු කාර්තුවේ මිනිත්තු 5ක් අවසන් වන විට ලකුණු සටහනේ 12-10ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත් අතර පළමු කාර්තුව අවසන් වන විට ලකුණු පරතරය ලකුණු 23-17ක් ලෙස වැඩි කර ගැනීමට ද ඔවුන් සමත් විය.

දෙවන කාර්තුව තරගයේ අවසන් තීරණයට බෙහෙවින් බලපෑ අතර ප්‍රබල ඉන්දියාව තම ලකුණු පරතරය කෙමෙන් කෙමෙන් වැඩි කර ගන්නා බවක් පෙනෙන්නට විය. එහි ප්‍රතිඵලය ලෙස පළමු අර්ධය අවසන් වන විට ලකුණු සටහන ලකුණු 50-34ක් ලෙස දිස්වූයේ ඉන්දියාව ප්‍රබල තත්වයක තබමිනි.SL VS IND 2

එක් අවස්ථාවක ඉන්දීය කණ්ඩායම ලකුණු 17ක් ලබා ගත්තේ ප්‍රතිවාදී ශ්‍රී ලංකා පිලට කිසිදු ලකුණක් ලබා නොදෙමිනි. තරගය තුල තම පාලනය ගිලිහී ගිය ශ්‍රී ලංකා පිල නැවතත් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී ගියේ ලකුණු පරතරය ඉතා විශාල වීම නිසායි.

ආබාධයක් හේතුවෙන් පසුපෙළ ක්‍රීඩක තිමෝති තිතුෂාන් තරගයට සහභාගී නොවූ අතර තම දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පළමු තරගය අහිමි වූ තුෂාන් ධර්මසේන මෙම තරගයට එක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට සහනයක් විය.

නමුත් පළමු තරගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් (24) රැස් කළ සුදේශ් අහමඩ්ගේ ක්‍රීඩා කාලය විනාඩි 9කට පමණක් සීමා විය. තම කණ්ඩායමේ වගකීම නිසිආකාරව තේරුම් ගත් චරිත් පෙරේරා ලකුණු 18ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. එසේම ඔහු ආරක්ෂාකාරී අන්තයේ දීත් ප්‍රතිවාදී ලකුණු සීමා කිරීමට සමත් විය. ඉදිරිපෙළ ක්‍රීඩක ගයාන් ඩි කෘස් ලකුණු 13ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.

තරගය ලකුණු 88-61ක් ලෙස අවසන් වූයේ මෙවර තරගාවලිය තුල ඉන්දියාවට තම දෙවන ජය මෙන්ම ශ්‍රී ලංකාවට තම දෙවන පරාජය හිමි කර දෙමිනි.SL VS IND 3

තරගය තුල දී නැවත ලබා ගැනීම් (Rebounds), නිදහස් විසි කිරීම් (Free Throws) හා නැවත හැරවීම් (Turn Overs) ප්‍රධාන සාධක ලෙස සැලකිය හැකි අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ වාර්තා කළ නැවත ලබා ගැනීම් ප්‍රමාණය 32ක් විය.

තරමක් උසින් වැඩි ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයින් 5 දෙනා පමණක්  නැවත ලබා ගැනීම් 42ක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ. සිං ලකුණු 28ක් හා නැවත ලබා ගැනීම් 16ක් වාර්තා කිරීමට සමත් වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම නිදහස් විසි කිරීම් අවස්ථා 7ක් පමණක් ලබා ගත් අතර එයින් අවස්ථා 4ක් සාර්ථක කර ගැනීමට සමත් විය. ඉන්දියාව අවස්ථා 38ක් ලබාගෙන එයින් 25ක් සාර්ථක කර ගැනීමට සමත් විය. මෙම තත්වය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තරගයෙන් ඉවත් කර තැබීමට ද හේතු විය.

ඉන්දීය කණ්ඩායම තුලින් නැවත හැරවීම් 14ක් පමණක් වාර්තා වූ අතර ශ්‍රී ලංකා පිලෙන් නැවත හැරවීම් 26ක් වාර්තා වීම කැපී පෙනෙන සිදුවීමක් විය. එම අවස්ථා 26 මගින් ලකුණු 28 රැස් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම තරගයේ තීරණයට බලපෑමක් එල්ල කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් (Bench Players) ලකුණු අතර සිටීම සතුටට කරුණක් වේ.

තරගාවලියේ මෙතෙක් පැවති තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහන මෙසේය.SL VS IND 4

කෙසේ වෙතත් මීළඟට නේපාලය සමඟ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා පිලට ඉතාමත් තීරණාත්මක තරගයක් වන අතර පදක්කම් බලාපොරොත්තුව තවදුරටත් යථාර්ථයක් කර ගැනීමට නම් මෙම ජයග්‍රහණය ඉතා වැදගත් වේ.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට