බංග්ලාදේශ නායකයා සිය වගකීම අතහරී

428

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ Tamim Iqbal සිය තනතුරින් ඉල්ලා අස් වීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා.

පසුගිය දා එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කිරීමෙන් පසු නැවතත් සිය තීරණය ඉල්ලා අස් කර ගත් ඔහු තරමක ආබාධ තත්වයකින් පීඩා විදින අතර ඔහුට ඇති පීඩනය අවම කර ගැනීමට මෙම තීරණය ගත් බව වාර්තා වෙනවා.

“ඔබ දන්නා පරිදි මම Jalal bhai සහ Papon bhai සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. එහි දී අපි ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා සාකච්ඡා කළා වගේම මම තීරණය කළා එක්දින නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න.

මම මගේ ආබාධයට එන්නත් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබෙන්නේ. මම මගේ ප්‍රශ්න ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඒ වගේම මට හැමදේටම වඩා වටින්නේ කණ්ඩායමයි. මේ වෙලාවේ නායකත්වයෙන් ඉවත් වෙන එක තමයි හොඳම දේ.

මම අගමැතිතුමිය එක්ක කතා කරා වගේම ඇය තේරුම් ගත්තා මෙතන තියෙන තත්වය ගැන. වැදගත්ම දේ කණ්ඩායමට හොඳ වෙන එකයි. මම නායකත්වයෙන් ඉවත් වෙලා ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමට අවශ්‍ය සේවය ලබා දෙන්න සූදානම්.”

ආබාධ තත්වය නිසා ආසියා කුසලානයට ක්‍රීඩා කර ප්‍රයෝජනයක් නැති බව Tamim ප්‍රකාශ කළ අතර ඔහු නවසීලන්ත තරගාවලිය ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසු වෙනවා.

“අපි ඒකට බල කළා නම් මට ගොඩක් දුරට ආසියා කුසලානය ක්‍රීඩා කරන්න තිබුණා. ඒත් මටවත් මෙතන ඉන්න වෛද්‍ය මණ්ඩලයේ අයෙක්ටවත් එහෙම කරන්න උවමනාවක් තිබ්බේ නැහැ. මම නවසීලන්ත කණ්ඩායම ගැන විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා.”

Mashrafe Mortazaට පසුව බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය පත් වූ Tamim එක්දින තරග 37කට කණ්ඩායම මෙහෙයවා තරග 21ක් ජයග්‍රහණය කර තිබූ අතර වැඩිම ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවා ගත් බංග්ලාදේශ නායකයින් අතර ඔහු දෙවැනි ස්ථානයේ පසු වෙනවා.

“ඒක ඇත්තටම හොඳ ගමනක්, තරග ප්‍රතිඵල ඒකට සාක්ෂි දරනවා. මම හිතනවා නායකයෙක් විදියට මම හොඳට කළා කියලා. මට තවත් නායකත්වයේ ඉන්න ඕන කිව්වොත් ඒක නිකන් ආත්මාර්ථකාමී දෙයක් විතරයි.”

ඒ අනුව බංග්ලාදේශ එක්දින නායකත්වයෙන් Tamim නිල වශයෙන් ඉවත් වන අතර ඔහුට ආසියානු කුසලාන තරගාවලිය ද ආබාධය නිසා අහිමි වෙනවා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<