ස්කොට්ලන්තය හමුවේ බංග්ලාදේශය මවිත වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

268
Bangladesh vs Scotland

ICC ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 6ක සුපිරි සහ තියුණු ජයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්තය අද (17) සමත් වුනා. 

ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මේ B කාණ්ඩයේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

මේ තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්, 

බංග්ලාදේශය – 1 Liton Das, 2 Soumya Sarkar, 3 Shakib Al Hasan, 4 Mushfiqur Rahim, 5 Mahmudullah (capt), 6 Afif Hossain, 7 Nurul Hasan (wk), 8 Mahedi Hasan, 9 Mohammad Saifuddin, 10 Taskin Ahmed, 11 Mustafizur Rahman.

ස්කොට්ලන්තය – 1 Kyle Coetzer (capt), 2 George Munsey, 3 Matthew Cross (wk), 4 Richie Berrington, 5 Calum Macleod, 6 Michael Leask, 7 Chris Greaves, 8 Mark Watt, 9 Josh Davey, 10 Safyaan Sharif, 11 Brad Wheal.

ස්කොට්ලන්ත ඉනිමේ Powerplay අවස්ථාව තුළ ඉතාමත් හොඳින් පාලනය කරමින් බංග්ලාදේශ පන්දු යවන්නන් ස්කොට්ලන්ත මුල්පෙළ කඩුලු 3 පළමු පන්දුවාර 8 අවසානයේ දී දවා ගත්තේ ලකුණු 46ක් තුළයි.

ලකුණු 53කට කඩුලු 6ක් දැවී අසරණව තිබූ ස්කොට්ලන්ත ඉනිම වෙනුවෙන් මැදපෙළ සවිමත් කරමින් 7 වැනි කඩුල්ල සඳහා පන්දු 34කින් ලකුණු 51ක සබඳතාවයක් ගොඩ නැගීමට Chris Greaves හා Mark Watt සමත් වුනා. 

Greaves සහ Watt පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 22ක් රැස් කළ අතර පන්දු 28ක දී වාර්තා වුනු Greavesගේ ඉනිම හතරේ පහර 4කින් සහ මනරම් හයේ පහර 2කින් අලංකාරවත් වුනා. අවසානයේ දී ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් වාර්තා කරගෙනයි.  

පන්දු යැවීමේ දී Mahedi Hasan ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හා වේගපන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.  

එයට පිළිතුරු දුන් බංග්ලාදේශ ඉනිම මුල සිටම හොඳින් පාලනය කිරීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත් වුනු අතර එහි ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී රැස් කරගැනීමට සමත් වුනේ ලකුණු 134ක් පමණයි.

Mushfiqur Rahim ලකුණු 38ක් වාර්තා කරගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. ඔහුගේ එම ඉනිම සඳහා හතරේ පහරක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වුනත්, සාර්ථක අවසානයක් කරා එම ඉනිම මෙහෙයවීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ. 

ඊට අමතරව Mahmudullah සහ Shakib Al Hasan පිළිවෙළින් ලකුණු 23ක් සහ ලකුණු 20ක් රැස් කළා. පන්දු යැවීමේ දී Brad Wheal ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ස්කොට්ලන්ත පන්දු යවන්නන් අතර කැපී පෙනුණා.

බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ මුණගැසුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර එම අවස්ථාවන් දෙකේ දී ම තරගයේ ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ ස්කොට්ලන්තය වීම සුවිශේෂී වෙනවා.

ලකුණු සාරාංශය,

ස්කොට්ලන්තය – 140/9 (20): Chris Greaves 45, George Munsey 29, Mark Watt 22, Mahedi Hasan 3/19. 

බංග්ලාදේශය – 134/7 (20): Mushfiqur Rahim 38, Mahmudullah 23, Brad Wheal 3/24. 

  • තරගයේ වීරයා – Chris Greaves (ස්කොට්ලන්තය) 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<