ආසියානු කනිෂ්ට රග්බි තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 25ක්

1035
25 දෙනෙකුගෙන් යුතු රග්බි සංචිතය ©ThePapare.com

දෙසැම්බර් 11 සිට 17 වන දා දක්වා මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ට රග්බි තරගාවලිය (Junior Rugby ASIAD) සඳහා යොවුන් ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කරන්නට ශ්‍රී ලංකා ජාතික රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පසුගිය ලිපි: හැව්ලොක් විසින් යුධ හමුදාවට නොසිතූ පරාජයක්

ThePapare.com වෙත අදහස් දැක්වූ ජාතික කනිෂ්ට පුහුණුකරු නිලූෆර් ඊබ්‍රහිම් පැවසුවේ මෙම සංචිතය පිලිබඳ තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවයි. වැඩිදුරටත් ඔහු පැවසුවේ අපිට මෙවර ඉතාමත් හොඳ කණ්ඩායමක් ලැබී තිබෙනවා. ඔවුන් අතුරින් සමහරෙක් මේ වන විටත් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය තුල පවා දස්කම් දක්වන තත්ත්වයට වර්ධනය වූ ක්‍රීඩකයන්. එමගින් ඔවුන් හට වඩාත් තරගකාරී කණ්ඩායම් සමග ක්‍රීඩා කරන ආකාරය පිලිබඳ අත්දැකීම් ලැබී තිබෙනවා. ඒ වගේම මේ කණ්ඩායම සමග වැඩ කරන්න ඉතාම පහසුයි, මොකද ඔවුන් බොහෝ දෙනෙක් අන්තර් සමාජ රග්බි අත්දැකීම් සමගින් රග්බි ක්‍රීඩාවේ වෘත්තීයමය තලය පිලිබඳ දැනුම ලබා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සංචිතයේ ඇති කැපී පෙනෙනම ලක්ෂණය වන්නේ පසුගිය අන්තර් පාසල් රග්බි තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වූ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සැමුවෙල් මධුවන්ත පිලිබඳ තේරීම් කමිටුවේ අවධානය යොමු නොවීමයි. මෙම කණ්ඩායමේ අනිවාර්ය සාමාජිකයෙකු ලෙස බොහෝ දෙනා විශ්වාස කල මධුවන්ත ඊට ඇතුලත් නොවීම ඉතාමත් පුදුම සහගත කරුණකි. පසුගිය අන්තර් පාසල් තරග වාරයේදී මීටර් 50ක් දුර සිට එල්ල කල  ඩ්‍රොප් ගෝලයක් හේතුවෙන් රග්බි කරලියේ විශාල අවධානයක් දිනාගත් මධුවන්ත සැලකෙන්නේ, මෙරට සිටින කනිෂ්ට රග්බි ක්‍රීඩකයන් අතුරින් වඩාත්ම සාර්ථක ලෙසින් පාදයෙන් පන්දුව ගෝල කණු වෙත යොමු කිරීමට සහ ස්ථාන ගත කිරීමට හැකි ක්‍රීඩකයා ලෙසයි.

මධුවන්ත මෙම සංචිතයට ඇතුලත් නොවීම පිලිබඳ  පුහුණුකරු නිලූෆර් ඊබ්‍රහිම් ද තම විමතිය පළකරමින් පැවසුවේ මෙවන් අදහසක්. මේක ඉතාමත් පුදුම සහගත තීරණයක්. මම සංචිතය තේරුවා නම් මධුවන්ත අනිවාර්යයෙන්ම ඊට ඇතුලත් වෙනවා. ඔහු යුටිලිටි බැක් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කලත්, ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ෆුල් බැක් ස්ථානයේද ක්‍රීඩා කිරීමේ හැකියාව මධුවන්ත සතුව  පවතිනවා. ඒ වගේම ඔහු පාදයෙන් පන්දුව ස්ථානගත කිරීමේදී නිරතුරුවම විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයෙක්. පසුගිය පාසල් තරග වාරයේදී වැඩිම ලකුණු වාර්තා කල ක්‍රීඩකයා වන මධුවන්ත පුහුණුවීම් අතරතුරදී මීටර් 55 ක දුරක සිට පන්දුව සාර්ථකව ස්ථාන ගත කරන්නට සමත් වුනා. ඉතින් ඔහුව සංචිතයට නොකැඳවීමේ තීරණය අපේ සංචිතයේ විශාල හිඩැසක් ඇති කරනවා.

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ට රග්බි කණ්ඩායමේ නයකත්වය මෙවර පැවරී තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහිවූ නිඛිල ගුණධීර හටයි. කොළඹ ඉසිපතන විද්‍යාලයේ හිටපු නායක කුෂාන් ඉඳුනිල් මේ කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි. නිලූෆර් ඊබ්‍රහිම් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වගකීම දරන අතර ශ්‍රී ලංකා රග්බි කුසලතා වර්ධන අධ්‍යක්ෂ ඉන්ති මරික්කාර්ගේ මග පෙන්වීම යටතේ කණ්ඩායමේ සහය පුහුණුකරු ධූරය දරන්නේ ටෙරන්ස් හෙන්රි විසිනුයි. කණ්ඩායමේ කළමනාකරණ සහ මෙහෙයුම් වගකීම් රොහාන් චින්තක හට පැවරී තිබේ.

මෙම තරගාවලිය වැදගත් වන්නේ එහි ජයග්‍රාහකයන් හට 2017 වසරේ මැයි 31 දා සිට ජුනි 18 වැනිදා දක්වා ජෝර්ජියාවේ පැවැත්වෙන ලෝක කුසලාන කනිෂ්ට රග්බි තරගාවලියට සහභාගී වීමේ අවස්තාව හිමිවන නිසාවෙනුයි.

ආසියානු කනිෂ්ට රග්බි තරගාවලියේ සියලු උණුසුම් තරග සජීවී ලෙස ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානමින් සිටියි. එබැවින් ලබන 11 වැනිදා සිට ශ්‍රී ලංකා කනිෂ්ට රග්බි තරු ආසියාව ජය ගන්නට සටන් වදින අයුරු දැක බලා ගනිමින් ඔවුන් දිරිමත් කරන්නට රග්බි ලෝලී ඔබ සැමට අපි ආරාධනා කරමු.

සංචිතය: රමේෂ් ප්‍රනාන්දු, වගීෂ වීරසිංහ, සයාන් සබර්, අධීෂ වීරතුංග, ලහිරු විශ්වජිත්, උදය සංජුල, රවීන් යාපා, ෂලින්ද්‍ර අලහකෝන්, කුෂාන් ඉඳුනිල්, නිඛිල ගුණධීර, අශ්වන්ත හේරත්, පන්ඩුල ද සිල්වා, ගයාන් වික්‍රමරත්න, නිරෝෂ් උදයංග, ධනුජ විජේරත්න, තනුජ මධුරංග, හරිත් බණ්ඩාර, වජීඩ් ෆවුමි, සන්දේශ් ජයවික්‍රම, ජනිත් ලක්සර, අශෝක් විජේකුමාර්, අවීශ ප්‍රියංකර, රොමේෂ් ප්‍රියංකර, සුපුන් විජේසූරිය, නවීන් හේනකන්කානම්ගේ

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට