අසරණ වූ ශ්‍රී ලංකා පිළට ලක්මාල්ගෙන් සහනයක්

1397

සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු ප්‍රථම ඉනිම ලකුණු 323කට නිමා කිරීමට අද (25) ශ්‍රී ලංකාවට හැකි විය. කෙසේ වෙතත් සමස්ත තරගය තුල දී සිදු වූ නොයෙකුත් අතපසුවීම් නිසා වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම සිංහ – කැන්ගරු ටෙස්ට් සටනේ මේ වන විටත් ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත මෙම සංචාරයේ පළමු තරගයේ දෙවැනි දිනය වූ අද දිනය අවසන් වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 162ක් පිටුපසින් පසුවේ.

දික්වැල්ල ජාමෙ බේරයි; දිනය නිමා වෙද්දී කැන්ගරුවන් ඉදිරියෙන්!

ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද (24) පළමු දිවා – රාත්‍රි ටෙස්ට්

අද උදෑසන තරගය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානු පිළ සිටියේ කඩුලු දෙකක් දැවී ලකුණු 72ක් තම මුල් ඉනිමට එක් කරගෙනයි. නමුත් අද දිනයේ යැවූ පළමු පන්දුවාරයේ දී ම ලකුණු 44ක් ලබා සිටි මාර්කස් හැරිස් දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය. ඒ ඉන්දීය තරගාවලියේ සිටම හොඳ ආරම්භයක් විශාල ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමට හැරිස් දක්වන අසමත්කම නැවත වරක් ප්‍රදර්ශනය කරමිනි. ඔහු දැවී ගියේ පිට ඉන්නට එළියේ පතිත වූ පන්දුවකට හඹා ගොස් පහර එල්ල කිරීමට යාමේ දී බැක්වර්ඩ් පොයින්ට් හි සිටි ලහිරු තිරිමාන්න පහසු උඩපන්දුවක් රැක ගැනීමත් සමඟයි. ඒ වන විට ඔහු හතරේ පහර 6ක් තම ඉනිම තුල අන්තර්ගත කොට තිබුණි.

>>Photos: Sri Lanka vs Australia 1st Test – Day 2

ඊයේ රාත්‍රියේ උස්මාන් කවාජා දැවී යාමෙන් පසු රාත්‍රි රැකවලා (Night watchman) ලෙස පිටියට පිවිසි නේතන් ලයන් ද අද වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූයේ නැත. ඒ සුරංග ලක්මාල් යැවූ පිට ඉන්නෙන් මදක් එපිට පතිත වී පිටතට දෝලනය වූ අනර්ඝ පන්දුවක් පසුපෙළ පිතිකරුවෙකු වූ නේතන් ලයන්ට තෝරා බේරා ගැනීමට අපහසු වීමත් සමඟයි. ලැබුණු උඩපන්දුව දෙවැනි ස්ලිප් හි සිටි කුසල් මෙන්ඩිස් ඉදිරියට පනිමින් පන්දුව පිටියේ වැදීමට මොහොතකට පෙර රැකගත් අතර එය තෙවැනි විනිසුරු විසින් ද තහවුරු කරන ලදි. ඒ වන විට ලයන් පන්දු 23කට මුහුණ දෙමින් ලබාගෙන තිබුණේ එක් ලකුණක් පමණි.

මේ වන විට ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 82ට කඩුලු 4ක් ලෙස දිස්වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ දිනයේ අඳුරු මතකයන් සම්පූර්ණයෙන්ම අමතක කර දමා ශක්තිමත්ව තරගයට මුහුණ දෙන බවක් දකින්නට ලැබුණි. නමුත් කුමක් දෝ අවාසනාවකට එක් ලකුණක් පමණක් ලබා සිටි ට්‍රැවිස් හෙඩ් ලබා දුන් උඩපන්දුව බිම අත හැරීමත් සමඟ තරගයේ දිශානතිය සහමුලින්ම වෙනස් විය. ලක්මාල් යැවූ කෙටි පන්දුව පසුපාදයේ ක්‍රීඩා කළ ට්රැවිස් හෙඩ් විමතියට පත් කරමින් ඉහළට ඉපිලී ආ අතර එය පිත්තේ පිටත අග්‍රයේ වැදී ඇදී ගියේ පළමු වැනි ස්ලිප් හි සිටි ධනංජය සිල්වා වෙතයි.

නමුත් නිරෝෂන් දික්වැල්ල අනවශ්‍ය පරිදි ඒ වෙත පැන පන්දුව රැක ගැනීමට දැරූ උත්සාහයේ දී පන්දුව ඔහුගේ අතේ වැදී බිම පතිත විය. ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදු වූ මෙම අතපසුවීමෙන් උපරිම ඵල නෙලාගත් ට්‍රැවිස් හෙඩ් සහ මාර්නස් ල’බුශේන් ශ්‍රී ලංකාව නැවතත් පසුපසට ඇද දමමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් තීරණාත්මක සබඳතාවයක් ගොඩ නගන්නට විය. අද රාත්‍රි ආහාරය ආසන්න වනතුරුම ඇදී ගිය එම සබඳතාවය අවසන් වූයේ තම මංගල ටෙස්ට් අර්ධ ශතකය ලෙස ලකුණු 81ක් ලබා සිටි ල’බුශේන් දැවී යාමත් සමඟයි.

අර්ධ කාලීන පන්දු යවන්නෙකු වන ධනංජය ද සිල්වා එම වටිනා කඩුල්ලේ හිමිකරු බවට පත්විය. ඔහුට එම කඩුල්ල හිමිකර දීමට ශෝට් මිඩ්-විකට් හි සිටි ලහිරු තිරිමාන්න රැකගත් විශිෂ්ට උඩපන්දුව ද හේතුවක් විය. ඒ අනුව ලකුණු 166ක දැවැන්ත සබඳතාවයේ නිමාව සනිටුහන් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළට සිදු කළ යුතු දැවැන්ත හානිය ඔවුන් දෙදෙනා විසින් ඒ වන විටත් සිදුකර තිබුණි. පසුගිය කාලය පුරාම ටෙස්ට් තරගවල දී ලැබුණු තීරණාත්මක උඩපන්දු ගිලිහී යාම නිසා එම පිතිකරුවන් විශාල ඉනිම් ගොඩ නගමින් ජයග්‍රහණය සොරාගත් අවස්ථා වලට උදාහරණ ඕනෑ තරම් සොයාගත හැකිය.

ඕස්ට්‍රේලියා නොගිය කෞෂාල්ගෙන් අති දැවැන්ත ඉනිමක්!

වෝන් – මුරලි කුසලානය අරඹමින් ක්‍රියාත්මක වූ පළමු දිනයේම ශ්‍රී ලංකා පිතිපෙළ ලකුණු 144කට දැවී ගිය බව ඔබ මේ

ඒ අනුව රාත්‍රි ආහාරය සඳහා තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කට ලකුණු 249ක් රැස්කර සිටියේ තරගයේ සම්පූර්ණ ග්‍රහණය තමන් වෙත නතුකර ගනිමිනි. නමුත් නැවතත් තරගය අරඹා වැඩි වේලාවක් ගත වන්නට පෙර විශිෂ්ට පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සුරංග ලක්මාල් සමත් විය. ඒ එක ළඟ පන්දු දෙකක දී ලකුණු 84ක් ලබා සිටි ට්‍රැවිස් හෙඩ් සහ නායක ටිම් පේන් යන දෙදෙනාම දවා ගනිමිනි. ඒ අනුව ඕස්ට්‍රේලියානු පිළේ පසුපෙළ (Tail-End) විවර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ශ්‍රී ලංකාවට අද දැවැන්තම තර්ජනය බවට පත්වූ ට්‍රැවිස් හෙඩ් හතරේ පහර 10ක් සමඟින් ලබා ගත්තේ තම සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

හෙඩ්ගේ දැවී යාමෙන් අනතුරුව ඉතාමත් ආක්‍රමණශීලී පන්දුවක් මඟින් පැට් කමින්ස්ව පහරක් කරා පොළඹවමින් උඩපන්දුවක් කඩුලු රකින්නා අතට ලබා දීමට දුෂ්මන්ත චමීරට හැකි විය. කර්ටිස් පැටර්සන් පුහුණු තරගයේ දී මෙන්ම අදත් සෑහෙන විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන්න ද අවසානයේ සුරංග ලක්මාල්ගේ වේගපන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ඒ වන විට ඔහු ලකුණු 30ක් රැස් කරගෙන සිටියේය. ඕස්ට්‍රේලියානු පිළේ අවසන් කඩුල්ල ලෙස ජේ රිචඩ්සන් ක්‍රීඩාගාරයට හැරී යන විට ඕස්ට්‍රේලියානු ඉනිමට ලකුණු 323ක් එකතු වී තිබුණි. එය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 179ක ඉදිරියක් වුවද සුරංග ලක්මාල් කඩුලු 5ක් බිඳ නොදමන්නට මෙම පරතරය ලකුණු 250ටත් එහා යන බව නම් පැහැදිලිය.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන සිංහ-කැන්ගරු ටෙස්ට් සටනේ ඉතිහාසය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර වෝන්-මුරලිදරන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත

මේ අයුරින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සියලු දෙනාම දින එකහමාරක් තුල දී මෙල්ල කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුවද එම සතුටත් සමඟම යම් කනගාටුවක් ද ශ්‍රී ලංකා කණ්ඩායම සතුවිය. ඒ අද දිනය නිමා වීමට පෙර පන්දුවාර 6ක් සඳහා පිතිකරණයේ යෙදීමට ඔවුන්ට සිදුවීමයි. එම වගකීම ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්නට පැවරුණු අතර පන්දුවාර 5ක් අවසන් වන තුරුම ඔවුන් සාර්ථක විය. නමුත් දිමුත් කරුණාරත්න, වමත් වේග පන්දු යවන්නන් හමුවේ දක්වන දුර්වලතාවය දැන සිටි ටිම් පේන් පන්දුව පැට් කමින්ස් වෙත භාර කෙරුවේ අවසන් මොහොතේ හෝ ඔහු අතින් යම් අතපසුවීමක් වනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

ඔහුගේ සිතැඟි ඉටු කරමින් දිමුත් කරුණාරත්න “අද දිනයේ යැවූ අවසන් පන්දුව” පිත්තේ යන්තමින් දවටාගෙන තම වටිනා කඩුල්ල කැන්ගරුවන්ට පූජා කළේය. ඒ ලකුණු 3ක් පමණක් ලබා සිටිය දීයි. දිමුත්ගේ දැවී යාමත් සමඟ අද තරගය නැරඹීමට ඒකරාශී වූ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් හඬින් බ්‍රිස්බේන් හි ගැබා පිටිය ගිගුම් දුන්නේය. සැබවින්ම මෙවන් තීරණාත්මක අවස්ථාවක දී දිමුත් අඩු ලකුණකට දැවී යාම නිසා හෙට උදෑසන සිට ධනාත්මකව ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකාවට අහිමි විය. තරග පරාජයක දැඩි අවදානමක් සහිතව ශ්‍රී ලංකා පිළ තවමත් සිටින්නේ ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 162ක් පිටුපසිනි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 56.4)

නිරෝෂන් දික්වැල්ල 64, දිමුත් කරුණාරත්න 24, කුසල් මෙන්ඩිස් 14, ලහිරු තිරිමාන්න 12, රොෂේන් සිල්වා 9, ජේ රිචඩ්සන් 3/26, පැට් කමින්ස් 4/39, මිචෙල් ස්ටාර්ක් 2/41.

ඕස්ට්‍රේලියාව (ප්‍රථම ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 106.2)

ට්‍රැවිස් හෙඩ් 84, මාර්නස් ල’බුශේන් 81, මාර්කස් හැරිස් 44, කර්ටිස් පැටර්සන් 30, මිචෙල් ස්ටාර්ක් 26*, ජෝ බර්න්ස් 15, සුරංග ලක්මාල් 5/75, දිල්රුවන් පෙරේරා 2/84, ධනංජය සිල්වා 1/22, ලහිරු කුමාර 1/37.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම): එක් කඩුල්ලක් දැවී ලකුණු 17 (පන්දුවාර 6)

ලහිරු තිරිමාන්න 6*, දිමුත් කරුණාරත්න 3, පැට් කමින්ස් 1/0.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<