ඕස්ට්‍රේලියා නොගිය කෞෂාල්ගෙන් අතිදැවැන්ත ඉනිමක්!

2510

වෝන් – මුරලි කුසලානය අරඹමින් ක්‍රියාත්මක වූ පළමු දිනයේම ශ්‍රී ලංකා පිතිපෙළ ලකුණු 144කට දැවී ගිය බව ඔබ මේ වන විටත් දන්නවා ඇත. නමුත් අප මේ කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ.

කලක් ශ්‍රී ලංකා පිළේ ටෙස්ට් ආරම්භක පිතිකරණ භූමිකාවට පණ පෙවූ නමුත් පසුව කණ්ඩායමෙන් ඉවතට විසිවී ගිය කෞෂාල් සිල්වා අද දිනයේම (24) ශ්‍රී ලංකාවේ සිට ගොඩ නැගූ ලකුණු 197ක දෛවෝපගත ඉනිමක් පිළිබඳවයි. කෞෂාල් ක්‍රීඩා කළ මෙම තරගයට අමතරව ප්‍රිමියර් ලීග් සුපිරි 8 වටයේ තවත් සිව්දින තරග 3ක් අද ආරම්භ විය.

දික්වැල්ල ජාමෙ බේරයි; දිනය නිමා වෙද්දී කැන්ගරුවන් ඉදිරියෙන්!

ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද…….

සිංහල ක්‍රීඩා සමාජය (SSC) සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

පසුගිය වසර ගණනාවක් පුරාම SSC ක්‍රීඩා සමාජයේ මෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා බවට පත්වූයේ දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වායි. නමුත් කාලයත් සමඟ කෞෂාල්ට පිට පිටම ඉනිම් ගණනාවක දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අතර ජාතික කණ්ඩායමේ ස්ථානය ද අහිමිව ගියේය.

Photo Album  : SSC v Army SC | Major Super 8s Tournament 2018/19

කෙසේ වෙතත් මේ දක්වාත් ඒ වෙනුවෙන් නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු සොයා ගැනීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව අපොහොසත්ව තිබෙන අතර කලකට පසු කණ්ඩායමට ඇතුළත් කළ ලහිරු තිරිමාන්න ද අද ආරම්භක පිතිකරු ස්ථානයේ දී අසාර්ථක විය.

තත්ත්වය මෙසේ තිබිය දී අද CCC පිටියේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයක් අතරතුරේ දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට කෞෂාල් සිල්වා සමත් විය. ඒ හතරේ පහර 21ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 197ක් රැස් කරමිනි. සාමාන්‍යයෙන් තරමක් මන්දගාමී පිතිකරුවෙකු ලෙස සැලකෙන ඔහු අද දිනයේ නම් තම දැවැන්ත ඉනිම වෙනුවෙන් වැය කළේ පන්දු 254ක් පමණි. ඒ පන්දුවට පහර දීමේ වේගය 77.55ක් තරම් ඉහළ අගයක රඳවා ගනිමිනි. ඔහු මේ වන විට කවිඳු කුලසේකර හා එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 226ක දැවැන්ත සබඳතාවයක් ද ගොඩනගා ඇත.

පිතිකරුවන් දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතා නිසාම පන්දුවාර 90ක් අවසානයේ අද දිනයට තරගය නතර කරන විට කඩුලු දෙකකට ලකුණු 363ක් රැස් කිරීමට SSC කණ්ඩායම සමත්ව සිටියි. ඒ අනුව හෙට දිනයේ බොහෝ දුරට දකුණත් පිතිකරු කෞෂාල් සිල්වා තම ද්විත්ව ශතකය වෙත ළඟා වනු ඇති අතර කවිඳු කුලසේකර තම පළමු පෙළ ක්‍රීඩා දිවියේ දෙවැනි ශතකය කරා ළඟා වීමට උත්සුක වනු ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ පන්දු යවන්නන් කිසිවෙකු ඇතුළත් නොවූ යුධ හමුදා කණ්ඩායම අද දිනයේ දැඩි ලෙස ප්‍රහාරයට ලක්වූ අතර විරාජ් පුෂ්පකුමාර සහ නුවන් ලියනපතිරණ බිඳ වැටුණු කඩුලු දෙකේ හිමිකරුවන් බවට පත්වූහ.

සිංහල ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම): කඩුලු 2ක් දැවී ලකුණු 363 (පන්දුවාර 90): කෞෂාල් සිල්වා 197*, කවිඳු කුලසේකර 82*, සඳුන් වීරක්කොඩි 52, ක්‍රිෂාන් ආරච්චිගේ 23, විරාජ් පුෂ්පකුමාර 1/91, නුවන් ලියනපතිරණ 1/92.

තරිඳු කෞෂාල්ගෙන් කඩුලු 7ක්; භානුකගෙන් ප්‍රවේගකාරී ශතකයක්!

ජාතික කණ්ඩායමේ දොරටුව අසල සිටින ක්‍රීඩකයින් කරට කර සටන් වදින අන්තර්….


කොළඹ ක්‍රිකට් සමාජය (CCC) සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

කටුනායක නිදහස් කලාපීය ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ද විශේෂ දක්ෂතා දැක්වීමට හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු සමත් විය. ඒ කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරගාවලි වල වැඩිම ලකුණු ලාභීන් අතර අනිවාර්යයෙන්ම නම සඳහන් වන වමත් පිතිකරු තරංග පරණවිතානයි. ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 120ක් රැස් කිරීමට ඔහු සමත් විය. ඒ අනුව කාසියේ වාසිය ලබාගත් CCC කණ්ඩායමේ ඇරයුමින් පිටියට පිවිසි ටැමිල් යූනියන් පිළ දිනය අවසන් වෙද්දී ලකුණු 282ක් ලබා සිටියි.

පරණවිතාන සමඟ සත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 153ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නැඟීමට උර දී සිටින දමිත සිල්වා හතරේ පහර 7ක් සමඟින් ලකුණු 71යි. පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

ටැමිල් යූනියන් (ප්‍රථම ඉනිම): කඩුලු 6ක් දැවී ලකුණු 282 (පන්දුවාර 90): තරංග පරණවිතාන 120*, දමිත සිල්වා 71*, සචිත්‍ර සේරසිංහ 21, ලහිරු මිලන්ත 18, වනිඳු හසරංග 2/48, අශාන් ප්‍රියන්ජන් 1/12, ඩිල්ශාන් මුණවීර 1/30.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ NCC පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ ශතක ලාභියා බවට පත්වූයේ දකුණතින් පිත්ත හසුරුවන 26 හැවිරිදි ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දුයි. ඔහු අද කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දුන් මේරියන්ස් කණ්ඩායමේ ප්‍රථම ඉනිම සැරසුවේ ලකුණු 109ක් රැස්කර ගනිමිනි.

පන්දු 139ක් තුළ වාර්තා වූ ඔහුගේ දැකුම්කළු ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. මීට අමතරව මේරියන්ස් පිළ වෙනුවෙන් නොදැවී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින හර්ෂ කුරේ ලකුණු 99 සිටිය දී අද දිනය සඳහා තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. ඒ නිමේෂ් විමුක්ති දිනය නිමා වීමට මොහොතක් තිබිය දී දැවී යාමත් සමඟයි.

මේ වන විට කඩුලු 5කට ලකුණු 426ක් ලෙසින් දැක්වෙන මේරියන්ස් ඉනිම වෙනුවෙන් තික්ෂිල ද සිල්වා පන්දු 63ක් තුළ ප්‍රවේගකාරී ලකුණු 79ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. ඔහුට නොදෙවෙනි පිති හරඹයක නියැලුණු යශෝධ ලංකා පන්දු 60ක් තුල දී ලකුණු 75ක් රැස්කළේ හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සමඟයි.

හලාවත මේරියන්ස් (ප්‍රථම ඉනිම): කඩුලු 5ක් දැවී ලකුණු 426 (පන්දුවාර 89.2): ඕෂද ප්‍රනාන්දු 109, හර්ෂ කුරේ 99*, තික්ෂිල ද සිල්වා 79, යශෝධ ලංකා 75, රිසිත් උපමාල් 33, සංගීත් කුරේ 2/48, ප්‍රියමාල් පෙරේරා 1/12.

ඔෂඳගේ ශතකයෙන් හලාවත මේරියන්ස් ගොඩ යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි…..


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ NCC කණ්ඩායම අතර තරගය

කිහිප වතාවක්ම ජාතික කණ්ඩායමට ඇතුළත් වුවද ස්ථිර පිතිකරණ ස්ථානයක් ලබා ගැනීමට අපොහොසත් වූ වමත් පිතිකරු මහේල උඩවත්ත මෙම තරගය අතරතුරේ දී දිනයේ ශතකලාභීන් අතරට එක්විය. ඒ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

ඔහු හැරුණුකොට වෙනත් NCC පිතිකරුවෙකුට අද දිනයේ විශාල ඉනිම් කරා ළඟා වීමට නොහැකි වූ නිසා දිනයත් සමඟම ලකුණු 253ක් වශයෙන් සටහන් වූ NCC ඉනිම ද නිමාවට පත්විය. පන්දු යැවීමේ දී වමතින් පිට දඟපන්දු යවන චාමිකර එදිරිසිංහ කඩුලු 4ක් බිඳ හෙලූ අතර වමත් වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ඩිල්ශාඩ් කඩුලු ද්විත්වයක් බිඳ හෙලීය.

NCC (ප්‍රථම ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 87.3): මහේල උඩවත්ත 101, ලහිරු උදාර 47, සාරංග රාජගුරු 38, මාලිංග අමරසිංහ 20, චාමිකර එදිරිසිංහ 4/82, මොහොමඩ් ඩිල්ශාඩ් 2/25.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<