ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන සිංහ-කැන්ගරු ටෙස්ට් සටනේ ඉතිහාසය

1306
කවරයේ ඡායාරූපය - සංගක්කාර 2007 හෝබාට් ටෙස්ට් තරගයේ දී ලකුණු 192ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර වෝන්-මුරලිදරන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජනවාරි 24 වැනිදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී ආරම්භ වීමට නියමිතය.

එමනිසාම මෙම ලිපිය සැකසෙන්නේ කණ්ඩායම් දෙකක ඕස්ට්‍රේලියානු බිමේ දී දක්වා ඇති ටෙස්ට් දස්කම් පිළිබඳව ආවර්ජනයක් කර මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් දෙකේ සූදානම පිළිබඳව  විමසා බැලීමටය.

පොඩිම තැනින් ලොකුම තැනට ගිය වසීම් අක්‍රම්

ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්. 1984 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර……

ඕස්ට්‍රේලියානු බිමේ දී පවත්වා ඇති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලි වල තොරතුරු

1988 වසරේ සිට 2019 වසර දක්වා ඕස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලි 6ක් පවත්වා ඇති අතර එහි දී එම තරගාවලි 6ම ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වූයේ පැවැත්වූ සමස්ත ටෙස්ට් තරග 13න් 11ක්ම ජයග්‍රහණය කර තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගනිමිනි.

1988 ටෙස්ට් තරගාවලිය

1988 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු අතර පැවති එකම ටෙස්ට් තරගය පර්ත් නුවර වැකා පිටියේ දී පැවැත්විය. එම යුගය වන විට ඇලන් බෝඩර්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින ලෝක කුසලානය දිනා ගතව තිබුණේ මාස කිහිපයක් පමණක් නිසාම ශ්‍රී ලංකාවේ 4 වැනි ටෙස්ට් නායකයා ලෙස මෙම ටෙස්ට් තරගයේ දී මුල්මවරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය ලබා දුන් රන්ජන් මඩුගල්ලේට මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම ලෙහෙසි පහසු අභියෝගයක් නොවීය.

එවැනි වාතාවරණයක් තුළ අරම්භ වූ මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඩීන් ජෝන්ස් ලබාගත් ලකුණු 102න් සහ නායක බෝඩර් ලබාගත් ලකුණු 88න් හැඩකාර වූ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 455කට සීමා කිරීමට හැකි වූයේ රවී රත්නායක සහ කෞෂික් අමලීන් කඩුලු 4 බැගින් ලබා ගැනීම නිසාය.

ඉන්  අනතුරුව ඕස්ට්‍රේලියානු ඉනිමට එරෙහිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් ඉදිරියේ දී අන්ත අසරණ වූ නිසාම ඔවුන්ට අවසානයේ දී ඉනිමක සහ ලකුණු 108ක දැවැන්ත පරාජයක් උරුම විය.

1989 ටෙස්ට් තරගාවලිය

1989 වසරේ අග භාගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියානු බිමේ දී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු බිමේ දී සාර්ථකව නිමා කළ එකම ටෙස්ට් තරගාවලිය මෙය විය.

අකිල යළිත් දස්කම් අතරට

අකිල ධනංජය යනු, අවසන් මාස 12කට අධික කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන්….

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 5 වැනි නායකයා බවට පත්වුණු අර්ජුන රණතුංග මුල්මවරට ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් නායකත්වය මෙම තරගාවලියේ දී ලබා දුන් අතර අවසානයේ දී තරගාවලිය 1-0ක් ලෙස පරාජය වුවත් එදා ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළේය.

බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී පැවති තරගාවලියේ පළමු තරගයේ දී ඕස්ට්‍රේලියානු මුල් ඉනිමේ දී ටොම් මූඩි ලකුණු 106ක් ලබා ගනිමින් මංගල ටෙස්ට් ශතකය ලබා ගන්නා විට ග්‍රැහැම් ලැබ්‍රෝයි ලකුණු 133කට කඩුලු 5ක් ලබා ගත්තේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඔහු ඉනිමක දී ලබාගත් එකම කඩුලු 5 අවස්ථාව සටහන් කරමිනි.

එලෙස ඕස්ට්‍රේලියානු මුල් ඉනිමට ලබාගත් ලකුණු 367ට එරෙහිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අරවින්ද ද සිල්වා ලබාගත් හැඩකාර ලකුණු 167 නිසා පළමු ඉනිමට ලකුණු 418ක් ලබාගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු බිමේ දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු ලබාගත් එකම අවස්ථාව විය.

අරවින්ද ද සිල්වා (gettyimages)

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මාක් ටේලර් අගනා ලකුණු 164ක් ලබා ගත්ත ද අවසානයේ දී තරගය ජය පැරදුමෙන් තොරව නිමාව දුටුවේ අරවින්ද ද සිල්වාට තරගයේ වීරයා සම්මානය උරුම කර දෙමිනි.

පළමු ටෙස්ට් තරගය එලෙස සාර්ථකව නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව බෙලරීව් ඕවල් පිටියේ පැවති මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අතර එම ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 224කට සීමා වූයේ රුමේෂ් රත්නායක 66/6 ලෙස පන්දුවෙන් දැක්වූ දස්කම් නිසාමය.

එදා රුමේෂ් ලබාගත් එම 66/6 අදටත් ඕස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කළ ඉහළම පන්දු යැවීම ලෙස සටහන් වෙයි. අනතුරුව ලකුණු 216කට සීමාවුණු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මහානාම සහ අරවින්ද පිළිවෙළින් ලකුණු 85ක් හා 75ක් ලබා ගත්තේය.

දෙහදක බර දරා සිටි පුජාරාගේ සවිමත් හදවත

මේ, ක්‍රිකට් පිතිකරුවන් අසාමාන්‍ය පහරවල්වලට පෙළඹෙන කාලයකි……

ලකුණු 8ක වාසියක් ලබාගෙන දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි කැන්ගරුවන් මාක් ටේලර් ලබාගත් ලකුණු 108ත්, ස්ටීව් වෝ සහ ඩීන් ජෝන්ස් පිළිවෙළින් නොදැවී ලබා ගත් ලකුණු 134 සහ 118 නිසා දෙවන ඉනිම වෙනුවෙන් 513/5 ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 522ක ඉලක්කයක් ලබා දෙමිනි.

අනතුරුව ලකුණු 522ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම රවී සහ අරවින්ද පිළිවෙළින් ලබාගත් ලකුණු 75 සහ 72 නිසා ලකුණු 348ක් ලබාගත් අතර අරවින්ද නැවතත් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ගුරුසිංහගේ පන්දුවක් හමුවේ බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී දැවී ගිය ස්ටීව් වෝ (gettyimages)

1995/96 ටෙස්ට් තරගාවලිය

තරග 3කින් සමන්විත වුණු මෙම ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්ම සිදුවීමෙන් අනතුරුවය.

පර්ත් නුවර වැකා පිටියේ දී පැවති පළමු ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 36කින් ජයග්‍රහණය කරන විට ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ස්ලේටර් ලකුණු 219ක් සහ මාක් වෝ ලකුණු 111ක් ලබාගත් අතර මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පොන්ටිං සහ මාක් ටේලර් ලකුණු 96 බැගින් ලබා සිටිය දී දැවී ගියේය.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේ ඉනිමක පරාජයෙන් බේරා ගැනීමට හෂාන් ලබාගත් ලකුණු 119 සටන්කාමී ඉනිමක් බවට පත්විය. එම සිදුවීම්වලට අමතරව මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුව පළුදු කරන බවට චෝදනා එල්ල වූවා සේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නිල ඇඳුමේ නිල ලාංඡනය විශාලත්වයෙන් වැඩි බවට ද චෝදනා එල්ල විය.

හෙයාර් මුරලිට පන්දුව දමාගැසීමේ  එරෙහිව චෝදනා එල්ල කල අවස්ථාව (gettyimages)

පළමු ටෙස්ට් තරගයේ පරාජයෙන් අනතුරුව මෙල්බර්න් පිටියේ දී සහභාගි වූ බොක්සිං දින ටෙස්ට් තරගයේ දී මුල්මවරට ඩැරල් හෙයාර් මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා කළේය. එවැනි ආන්දෝලනාත්මක ටෙස්ට් තරගයක් වූ මෙම තරගයේ දී ස්ටීව් වෝ නොදැවී ලබාගත් ලකුණු 131 සහ ඩේවිඩ් බූන් ලබාගත් ලකුණු 111 ඕස්ට්‍රේලියානු ඉනිමට ශක්තියක් වූ අතරම ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරාගැනීමට ගුරුසිංහ ලබාගත් ලකුණු 143 මෙම තරගයේ සුවිශේෂී සිහිවටනය විය.

නමුත් අවසානයේ දී මෙම ටෙස්ට් තරගයත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 10කින් ජය ගත්තේ තරගාවලිය ද 2-0ක් ලෙස ජයග්‍රහණය කරමිනි. තරගාවලිය වේලාසනින්ම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඇඩිලේඩ් නුවර දී ද ලකුණු 148ක පරාජයක් ලැබුවත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ලකුණු 112ක් ලබා ගනිමින් ඔහුගේ මංගල ටෙස්ට් තරගය එම තරගයේ දී වාර්තා කළේය. ඔහුට අමතරව ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ස්ටීව් වෝ ලබාගත් ලකුණු 170 අනර්ඝ ඉනිමක් විය. තරගාවලිය පුරාවටම පිත්තෙන් දස්කම් දැක්වූ ස්ටීව් වෝ ඉනිම් 3ක දී ලකුණු 362ක් ලබා ගන්නා විට මැග්‍රාත් තරගාවලිය පුරාවටම කඩුලු 21ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මංගල ටෙස්ට් තරගයේදී පොන්ටිං ලකුණු රැස් කරමින් (gettyimages)

2004 ටෙස්ට් තරගාවලිය

තරග දෙකකින් සමන්විත වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙස පරාජය විය. එහි දී පන්දු යවන්නන්ගේ තරගයක් වූ ඩාර්වින්හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී ක්‍රැස්පොවික්ස් 39/7, වාස් 31/5 සහ මැග්‍රාත් 37/5 ලෙස පන්දුවෙන් දස්කම් දැක්විය.

ඊට අමතරව මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වූ ලසිත් මාලිංග 42/4 ලෙසින් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ දී කඩුලු ලබාගත් අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී ලබාගත් ලකුණු 97 ඔවුන් ඕස්ට්‍රේලියානු බිමේ දී ඉනිමක වාර්තා කළ අවම ලකුණු ප්‍රමාණයයි. අවසානයේ දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අභිබවා යාම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 149ක ජයක් උරුම කර ගත්තේය.

අනතුරුව පැවති කෙයාන්ස් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මාවන් අතපත්තු පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 133 ශ්‍රී ලංකා නායකයෙකු ඕස්ට්‍රේලියානු බිමේ දී ලබා ගත් මුල්ම ටෙස්ට් ශතකය ලෙසින් ඉතිහාසයට එක්විය.

ඊට අමතරව මෙම තරගයේ ඉනිම් දෙකේ දී ම කඩුලු 5 බැගින් ලබාගත් උපුල් චන්දන ඕස්ට්‍රේලියානු බිමේ දී පැවති ටෙස්ට් තරගයක ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එසේ දස්කම් දක්වන විට ඕස්ට්‍රේලියානු වෙනුවෙන් ඉනිම් දෙකේ දී ම ශතක ලැබූ හේඩ්න් එහි දී පිළිවෙළින් ලකුණු 117ක් සහ 132ක් ලබා ගන්නා විට ලැංගර් පළමු ඉනිමේ දී ලකුණු 162ක් ලබා ගත්තේය.

  • ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල කල හේඩ්න්-ලැංගර් යුගලය (gettyimages)

2007 ටෙස්ට් තරගාවලිය

තරග දෙකකින් සමන්විත වූ මෙම ටෙස්ට් තරගාවලිය  මුල්මවරට වෝන්-මුරලිදරන් කුසලානය ලෙස නම් කළ අතර තරගාවලිය 2-0ක් ලෙස ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය කළේය.

එහි දී බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 40ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වූයේ මයිකල් ක්ලාක් නොදැවී 143, මයික් හසී 133 සහ පිල් ජැක්ස් ලකුණු 100 ලෙස පිත්තෙන් දැක්වූ දස්කම් නිසාමය.

ඉන් අනතුරුව හෝබාර්ට් නුවර බෙලරීව් ඕවල් පිටියේ දී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී නැවතත් ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ පිල් ජැක්ස් සහ මයික් හසී පිළිවෙළින් ලකුණු 150ක් සහ 132ක් ලබා ගනිද්දී මහේල ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ලකුණු 104ක් ලබා ගන්නා විට සංගක්කාර දෙවන ඉනිමේ දී ලකුණු 192ක් ලබා ගත්තේය. එහි දී ලකුණු 507ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය අවසන් වන විට 247/3 ලෙස ප්‍රබල ස්ථානයක සිටියේය. නමුත් අවසන් දිනයේ උදෑසනින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු කිහිපයක් බිඳවැටීමෙන් අනතුරුව සංගක්කාර හුදෙකලා ඉනිමක් දියත් කළ ද ඔහු ලකුණු 192ක් ලබා සිටිය දී රුඩී කර්ස්ටන් විනිසුරුවරයා ලබා දුන් දුර්වල තීන්දුවක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 96ක පරාජයක් උරුම විය.

  • ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ෆිල් ජැක්ස් (gettyimages)

2012/13 ටෙස්ට් තරගාවලිය

තරග 3කින් සමන්විත වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක් ලෙසින් පරාජය විය. එහි දී හෝබාට් ටෙස්ට් තරගයේ දී දිල්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 147ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දක්වන විට මයික් හසී ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ලකුණු 115ක් ලබා ගත්තේය.

පිතිකරුවන් එසේ පිත්තෙන් දස්කම් දක්වන විට පන්දුවෙන් දස්කම් දැක්වූ පීටර් සිඩ්ල් තරගය පුරාවටම කඩුලු 9ක් ලබා ගත්තේය. ස්ටාක් සහ රංගන හේරත් පිළිවෙළින් 63/5 සහ 95/5 ලෙසින් කඩුලු ලබා ගත්තේය. ඉන් අනතුරුව මෙල්බර්න්හීදී පැවති ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 201කින් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිඩ්නි හිදී පැවති අවසන් ටෙස්ට් තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කළේය.

එම ටෙස්ට් තරග දෙකේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුවිශේෂී දස්කම් දැක්වීමට අවස්ථාවක් නොලැබුණත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මෙල්බර්න්හීදී ක්ලාක් 106ක් ලබාගන්නා විට මැතිව් වේඩ් සිඩ්නි හීදී ලකුණු 102ක් ලබාගත්තේය.

  • පළමු ටෙස්ට් තරගයේ දී සිඩ්ල් කඩුල්ලක් ලබා ගැනීමේ සතුට සමරමින් (gettyimages)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<