රත්වූ යකඩය කෙසේ හෝ නවාගන්නට සිංහයින් සීරුවෙන්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

215

සංචාරක ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (29) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් වන මේ තරගාවලිය වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන අතර එහි පළමු ටෙස්ට් තරගය, මීට මාස කිහිපයකට ඉහත දී හදිසියේ මෙලොව හැර ගිය Shane Warne වෙනුවෙන් නම් කර තිබීම විශේෂත්වයක්.

1982 වසරේ සිට පැවත එන ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 31ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 16ක ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව සතු වෙද්දී, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරග ගණන 4ක්. තවද තවත් ටෙස්ට් තරග 8ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

ප්‍රහාරාත්මක තරු

දිමුත් කරුණාරත්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ “2021 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම” සඳහා තේරී පත්වූ කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් තරග 78ක් තුළ ලකුණු 5768ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 39.77ක් වැනි මට්ටමක පවත්වා ගෙනයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දරණ කරුණාරත්න ජාත්‍යන්තර පන්දු යවන්නන් හමුවේ ශතක 14ක් සහ අර්ධ ශතක 29ක් ලබාගෙන තිබෙන අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 275ක් ලබාගෙන ඇත්තේ තරග 8කට පමණක් සහභාගී වෙමින්. ඒ අතරට එක් අර්ධ ශතක දෙකක් ඇතුළත්.

තවද ඔහු දැනට ICC ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින (7 වැනි ස්ථානය) ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වෙනවා.

Marnus Labuschagne

මේ දකුණත් පිතිකරුවා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ සවිමත් කරන සුවිශේෂී පිතිකරුවෙක්. ICC ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ දෙවැනි ස්ථානයේ සිටින ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරග 26ක ඉනිම් 45ක් තුළ දී ලකුණු 2390ක් ලබාගෙන ඇත්තේ 54.31ක් වැනි හොඳ ලකුණු ලබා ගැනීමේ මට්ටමක් පවත්වා ගනිමිනි.

Labuschagne ටෙස්ට් ශතක 6කින් සහ අර්ධ ශතක 13කින් ජාත්‍යන්තර පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබෙන අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක දී ලකුණු 91ක් ලබාගෙන තිබෙන්නේ 30.33කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලතම පිතිකරුවෙක් වන මැතිව්ස් කලක පටන් ශ්‍රී ලංකා ටෙස්ට් මැදපෙළ සවිමත් කරනවා. මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 96කට සිය දායකත්වය දක්වමින් ලකුණු 6776ක් ලබාගෙන ඇත්තේ 45.78ක පමණ හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. එම ලකුණු අතරට ශතක 13ක් හා අර්ධ ශතක 37ක් ඇතුළත්.

ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාව ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද මැතිව්ස් හඳුන්වා දීමට පුළුවන්. තවද ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ඉනිම් 17ක දී ලකුණු 605ක් ලබාගෙන තිබෙන මැතිව්ස් 40.06ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ඕස්ට්‍රේලියාවට එරෙහිව රඳවා ගැනීමට සමත් වී තිබෙනවා.

Steve Smith

ICC ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ තෙවැනි ස්ථානයේ සිටින Steve Smith ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුව සිටින ජාත්‍යන්තර අත්දැකීම් බහුල පිතිකරුවෙක්. Smith ජාත්‍යන්තර ටෙස්ට් තරග 85ක දී ලකුණු 8010ක් ලබාගෙන ඇත්තේ 59.77ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඔහුගේ එම ලකුණු අතරට අර්ධ ශතක 36ක් හා ශතක 27ක් ඇතුළත්.

දකුණතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර Smith ශ්‍රී ලංකාව සමඟ මේ දක්වා ටෙස්ට් තරග ඉනිම් 6ක දී ලකුණු 247ක් ලබාගෙන තිබෙන්නේ 41.16ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ප්‍රබල පන්දු යවන්නන්

අසිත ප්‍රනාන්දු

බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී දකුණතින් වේගපන්දු යවන අසිත ප්‍රනාන්දුගේ පන්දුවලට පිතිකරුවන් පහර එල්ල කළේ තරමක දෙගිඩියාවකින් යුතුවයි. එහි දී අසිත ටෙස්ට් තරග 2ක් තුල කඩුලු 13ක් දවාගෙන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වුනා.

අසිත ජාත්‍යන්තර ටෙස්ට් තරග 5ක දී කඩුලු 17ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.19ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී තිබෙනවා. නමුත් අසිත ඕස්ට්‍රේලියාවට එරෙහිව එකඳු හෝ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

Pat Cummins

දැනට ලොව අංක 1 ටෙස්ට් පන්දු යවන්නා වන ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක Pat Cummins ජාත්‍යන්තර ටෙස්ට් තරග 41ක දී කඩුලු 197ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. එසේම ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 21.27ක් ලෙස සටහන් වෙනවා.

Cummins එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් 2.74ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර තිබෙන අතර දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් ඉනිමක හොඳම ටෙස්ට් පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 23කට කඩුලු 6ක් ලෙසයි.

ලසිත් ඇඹුල්දෙණිය

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ගාල්ල තණතීරුව මත වැඩි දස්කම් දැක්වීමට හැකි ක්‍රීඩකයෙක්. 2016 වසරේ දී 3-0ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වන විට රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දඟපන්දු යවන්නන් වුනා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම දැනට විශ්‍රාම ගෙන සිටින නිසා මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා ප්‍රධාන දඟපන්දු යවන්නා වන්නේ ඇඹුල්දෙණියයි.

ඇඹුල්දෙණිය ජාත්‍යන්තර ටෙස්ට් තරග 16ක දී කඩුලු 71ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.20ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී තිබෙනවා. තවමත් වයස අවුරුදු 25ක් වන ඇඹුල්දෙණිය ඕස්ට්‍රේලියාවට එරෙහිව තවමත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

Nathan Lyon

උස අඩි 5 අඟල් 9ක් වන දකුණතින් පිට දඟපන්දු යවන්න තරුවක් වන Nathan Lyon ජාත්‍යන්තර ටෙස්ට් තරග 108ක දී කඩුලු 427ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. ලකුණු 50කට කඩුලු 8ක් දවා ගැනීම එක් ඉනිමක කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති Lyon එක් පන්දුවාරයකට දල වශයෙන් 2.94ක් පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී තිබෙනවා.

එසේම මොහුගේ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 36.82ක් වැනි මට්ටමක තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහි ඉනිම් 22ක දී කඩුලු 35ක් දවා ගැනීමට Lyon සමත් වී තිබෙනවා.

ගාල්ල තණතීරුව හා කාලගුණ තත්ත්වය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 2021 දෙසැම්බර් මාසයට පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. මෙහි තණතීරු මත ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරග 4ක් පවත්වා තිබෙන අතර එම තරග හතරෙන් තරග දෙකක ජය ඕස්ට්‍රේලියාව සතුවෙද්දී, 2016 අවසන් වරට පැවති තරගය ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා. අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකාව කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වන අතර සුපුරුදු ලෙස දඟපන්දු යවන්නන්ට වැඩි හිතකර තණතීරුවක් මේ තරගය සඳහා නිර්මාණය වෙනු ඇති.

කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, පළමු ටෙස්ට් තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇති අතර පැයට කිලෝමීටර් 13 – 23 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 27°C – 34°C වැනි පරාසයක උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකියි.

වර්තමාන තත්ත්වය

ඕස්ට්‍රේලියා කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර ඕස්ට්‍රේලියාව දැනට (ජුනි 28) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු වැනි ස්ථානයේ පසුවෙනවා. ඔවුන් ලකුණු 2439ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 128ක් ද සමඟයි.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 1637ක් හා ප්‍රසාද ලකුණු 82ක් ලබාගෙනයි. එසේම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පෙරමුණේ සිටින ඕස්ට්‍රේලියාව අපරාජිතව සිටින අතර ශ්‍රී ලංකාව එහි සිව්වැනි ස්ථානයේ පසුවෙනවා.

දෙපිලේ අවසන් ටෙස්ට් තරග පහේ ප්‍රතිඵල

  • ශ්‍රී ලංකාව –W, D, L, L, W
  • ඕස්ට්‍රේලියාව – W, D, D, W, D

(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණ, L – පරාජයන්, D – ජය පරාජයෙන් තොර)

පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – Pathum Nissanka, Dimuth Karunaratne (capt), Kusal Mendis, Angela Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Niroshan Dickwella (wk), Ramesh Mendis, Lasith Embuldeniya, Asitha Fernando, Jeffrey Vandersay
  • ඕස්ට්‍රේලියාව – Usman Khawaja, David Warner, Marnus Labuschagne, Steven Smith, Glenn Maxwell, Cameron Green, Alex Carey (wk), Pat Cummins, Mitchell Starc, Nathan Lyon, Mitchell Swepson

ටෙස්ට් තරග කාලසටහන

  • පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය: ජුනි 29 වැනිදා සිට ජූලි 3 වැනිදා දක්වා ගාල්ලේ දී
  • දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය: ජූලි 8 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා ගාල්ලේ දී

තරගාවලියේ සියලුම තොරතුරු, එසැණ පුවත්, තරග සේයා රූ හා විශේෂ වීඩියෝ ඇතුළු තවත් දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<