දකුණු අප්‍රිකාව අන්ත අසරණ කළ අගාර්ගේ කඩුලු ත්‍රිත්වය!

66
Credit : cricxtasy.com

ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී ඊයේ (21) පැවති T20 තරගය සත්කාරක දකුණු අප්‍රිකාව සහ ඇශ්ටන් අගාර් අතර පැවති තරගයක් ලෙස හැඳින්වුවහොත් එය වරදක් නොවේ. ඒ පිත්තෙන් සහ පන්දුවෙන් අගාර් දැක්වූ විශිෂ්ට දස්කම් නිසා දකුණු අප්‍රිකානුවන් තම උපන් බිමේදීම ලකුණු 107ක අති දැවැන්ත පරාජයකට ලක්වූ බැවිනි. මේ නිසා ඕස්ට්‍රේලියාව තරග 3කින් සමන්විත T20 තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි.

MCC ඉනිමට සංගක්කාරගෙන් අර්ධ ශතකයක්

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් Marylebone ක්‍රිකට් සමාජය මේ….

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක් මුලින් පන්දු යැවීමට ගත් තීරණය ද ඊයේ සාර්ථක වූයේ නැත. ඒ මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව තමන්ට නියමිත පන්දුවාර 20 තුලදී ලකුණු 196ක් වාර්තා කරගත් බැවිනි. ඒ අතරතුර බිඳ වැටුනේ ඔවුන්ගේ කඩුලු 6ක් පමණි. කැන්ගරුවන්ගේ මෙම සාර්ථකත්වයට බලය, ජවය, ශක්තිය ගෙන ආවේ නායක ඒරෝන් ෆින්ච් සහ ස්ටීවන් ස්මිත් අතරේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 80ක සබඳතාවයයි.

පන්දු 27කට පමණක් මුහුණ දුන් ඒරෝන් ෆින්ච් එහිදී සය වතාවක් පන්දුව හතරේ සීමාව කරා පිටත් කර හැරි අතර එක් වතාවක් එය හතරේ සීමාවටත් ඉහළින් පිටත් කර හැරියේය. එහි ප්‍රතිඵලය වූයේ දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලකුණු 42කි. ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ස්ටීවන් ස්මිත් ලකුණු 45ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි. මැදපෙළ පිතිකරුවන් විශේෂ ඉනිම් ක්‍රීඩා නොකළද ෆින්ච් – ස්මිත් දමා දුන් අත්තිවාරම ඔස්සේ ලකුණු 196ක් කරා යාමට ඔවුන්ට හැකිවිය.

පළමුව පිත්තෙන් දස්කම් දැක්වූ ඇශ්ටන් අගාර් තමන්ට ලැබුණු පන්දු 9 සාර්ථකව භාවිතා කරමින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟයි. මීට අමතරව ඇලෙක්ස් කෙරී ලකුණු 27කට හිමිකම් කීවේය. පන්දු යැවීමේ දී සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සහ තබ්‍රයිස් ශම්සි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. දකුණු අප්‍රිකාව සතු යොවුන් වේග පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම නම කියවෙන කාගිසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි ඊයේ කැන්ගරුවන් අතින් දැවැන්ත ප්‍රහාරයකට ලක් වීමද ඊයේ කැපී පෙනුනු සිදුවීමක් විය.

කැන්ගරු දේශයේ අණසක පතුරුවන්නට සැරසෙන සිංහ ධේනුවන්

එක්දින ලෝක ශූරියන් ලෙස කිරුළ පැලඳූ එංගලන්ත කණ්ඩායම මොහොතකට…..

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යන්නට උත්සාහ කළ දකුණු අප්‍රිකානුවන් ගැන කියන්නට වැඩි යමක් නොතිබූ අතර පන්දුවාර 14.3ක් ගත වෙද්දී ඔවුන්ගේ ඉනිම ලකුණු 89කට නිමාවිය. ඒ ඇශ්ටන් අගාර්ගේ වමත් පිට දඟ පන්දුවට මුහුණ දීමට හැකි ආකාරයක් සිතා ගැනීමට සත්කාරක පිළේ පිතිකරුවන් නොහැකි වූ නිසයි. එහිදී අගාර් ක්‍රියාත්මක කළ ඉනිමේ 8 වැනි පන්දුවාරයේ අවසන් පන්දු 3ට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ද අගාර්ට හැකිවිය. ඒ පිළිවෙලින් ෆැෆ් ඩු ප්ලෙසිස්, අන්දිල් පෙලුක්වායෝ සහ ඩේල් ස්ටේන්ව දවා ගනිමිනි. 

මෙම සුපිරි දක්ෂතාවය ඉතිහාසයට එක්වූයේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු කඩුලු ත්‍රිත්වයක් බිඳ හෙලූ දෙවැනි අවස්ථාව ලෙසයි. එතකින් නොනැවතුනු අගාර් ඉනිමේ අවසන් කොටසේ දී තවත් කඩුලු 2ක් බිඳ හෙලමින් තරගය ජයග්‍රහණය කර දුන්නේ ලකුණු 24ට කඩුලු 5ක් බිඳ හෙලමිනි. මෙය ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු T20 තරගයකදී පෙන්නුම් කළ ඉහළම දක්ෂතාවය  ලෙස වාර්තා අතරට එක්විය. පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසාම තරගයේ වීරයා සම්මානය සඳහා ද ඔහුට වඩා සුදුස්සෙකු නොවීය. 

ICC කැලැන්ඩරයෙහි ප්‍රබල වෙනසක් සිදුවන ලකුණු!

ක්‍රිකට් දින පොත යාවත්කාලීන කරමින් ලෝක මට්ටමින් පැවැත්වෙන තවත්….

මෙම පරාජය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට දැවැන්ත කළු පැල්ලමක් එකතු කළේ ඔවුන් T20 තරගයක ලබාගත් දැවැන්තම පරාජය ලෙසයි. එසේම මෙය දකුණු අප්‍රිකාව T20 තරගයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. මීට පෙර ඔවුන් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 2018 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 98කට දැවී යාමයි. දෙරට අතර දෙවැනි T20 තරගය හෙට (23) පෝර්ට් එළිසබෙත් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඕස්ට්‍රේලියාව – කඩුලු 6ක් දැවී ලකුණු 196 (පන්දුවාර 20) : ස්ටීවන් ස්මිත් 45, ඒරෝන් ෆින්ච් 42, ඇලෙක්ස් කෙරී 27, ඇශ්ටන් අගාර් 20*, මිචෙල් මාශ් 19, මැතිව් වේඩ් 18, ඩේල් ස්ටේන් 2/31, තබ්‍රයිස් ශම්සි 2/31, අන්දිල් පෙලුක්වායෝ 1/35, ලුන්ගි න්ගිඩි 1/37.

දකුණු අප්‍රිකාව – සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 14.3) : ෆැෆ් ඩු ප්ලෙසිස් 24, කාගිසෝ රබාඩා 22, පිට් වෑන් බිල්ජොන් 16, ජේ.ජේ. ස්මට්ස් 7, වෑන් ඩර් ඩසේන් 6, ඇශ්ටන් අගාර් 5/24, ඇඩම් සැම්පා 2/9, පැට් කමින්ස් 2/13.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<