ලෝක ක්‍රිකට් ශූරයින්ට නිජබිමේ දීම අනපේක්ෂිත ප්‍රහාරයක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

163
Australia tour of England 2020

ග්ලෙන් මැක්ස්වෙල් සහ ඇලෙක්ස් කේරි දියත් කළ අධිෂ්ඨානශීලී පිතිකරණය නිසාවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (16) මැන්චෙස්ටර් හිදී පැවති තුන්වැනි එක්දින තරගය කඩුලු 3කින් ජය ගත් ඕස්ට්‍රේලියාව 2-1ක් ලෙස තරගාවලිය ද ජයග්‍රහණය කරන්නට සමත් විය. 

මෙම තරගයේ දී ලකුණු 303ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ඉනිම එක් මොහොතක ලකුණු 73ක් තුල කඩුලු 5ක් දැවී ඉතාමත් අසීරු මට්ටමක පසු විය. නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් මැක්ස්වෙල් සහ කේරි දියත් කළ ලකුණු 212 දැවැන්ත සබඳතාවය නිසා ඕස්ට්‍රේලියාවට මේ තරගය ජය ගැනීමට හැකි වූයේ ලෝක ශූර එංගලන්තයට අනපේක්ෂිත තරග සහ තරගාවලි පරාජයක් උරුම කරදෙමිනි.

තවත් කියවන්න

කේරිගේ ඉනිම ලකුණු 8 දී නිමා කිරීමට එංගලන්තයේ ජොෆ්රා ආචර් සමත් වුවත් එය නිපන්දුවක් වීම නිසා ඒ අවස්ථාව ඔවුන්ට අහිමිව ගිය අතර එයින් උපරිම ඵල නෙලාගත් කේරි සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරගැනීමට සමත් විය. ඒ ඉනිම සඳහා 4 පහර 7ක් සහ 6 පහර දෙකක් ඇතුළත් විය. තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ මැක්ස්වෙල් 4 පහර 4ක් සහ 6 පහර 7ක් සමඟ පන්දු 90ක දී ලකුණු 108ක් ලබා ගත්තේ සිය දෙවැනි ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමිනි.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර 1-1ක් ලෙස සම මට්ටමක පසුවෙමින් කණ්ඩායම් දෙක තරගය අවතීර්ණ විය. 

පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ මිචෙල් ස්ටාර්ක් පළමු පන්දු දෙක තුල ජේසන් රෝයි සහ ජෝ රූට් දෙදෙනා දවා ගැනීමට සමත් වූයේ එංගලන්ත ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙරයි. පසුව ජොනී බෙයාර්ස්ටෝව් සහ නායක ඔයින් මෝර්ගන් එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 67ක සබඳතාවයක් ගොඩනංවමින් එංගලන්තයට තීරණාත්මක මෙම තරගයේ දී යම් තරගකාරී ලකුණු මට්ටමක් වෙත යාමට අවශ්‍ය අඩිතාලම සකස් කර දෙන ලදි.

එංගලන්තය සිය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 302ක වාර්තා ගත ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ, එක්දින තරගයක ලකුණු නොලබා සිටිය දී කඩුලු දෙකක් දැවී ගොස් කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතු කරගනිමිනි. ඒ වාර්තාව සඳහා මීට පෙර හිමිකම් කීවේ (ලකුණු 287) පාකිස්තාන කණ්ඩායමයි.

බෙයාර්ස්ටෝව් සහ සෑම් බිලින්ග්ස් 5 වැනි කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 114 සබඳතාවය ද ඒ සඳහා විශාල සවියක් වූ අතර එය මෙම තරගයේ දී වාර්තා වූ දෙවැනි හොඳම සබඳතාවය විය. පන්දු 126ක් තුල ලකුණු 112ක් ලබා ගත් බෙයාර්ස්ටෝව්ගේ ඉනිම සඳහා 4 පහර 12ක් සහ 6 පහර 2ක් ඇතුළත් වූ අතර එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 10 වැනි ශතකය විය.

බෙන් ස්ටෝක්ස් සංචිතයේ නොමැති වීම නිසාවෙන් එංගලන්ත අවසන් 11 අතරට පැමිණි බිලින්ග්ස් නැවතත් සිය රිද්මය සොයා ගත්තේ පළමු තරගයේ දී ලබා ගත් සිය මංගල එක්දින ශතකයට පසුවයි.  ඔහුගේ මේ ලකුණු 57 ඉනිම සඳහා 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඇතුළත් විය.

එංගලන්ත ලකුණු සටහන ක්‍රියාත්මක වීමේ වේගය වැඩි කිරීම සඳහා සවියක් වූ ක්‍රිස් වෝක්ස් ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් සමඟින් එක්ව පන්දු 39ක දී වේගවත් ලකුණු 53*ක් ලබා ගත්තේ 4 පහර 6ක් ලකුණු සටහනට අන්තර්ගත කරමිනි. අදිල් රෂීඩ් සහ ටොම් කරන් ඇතුළු එංගලන්ත පසුපෙළ පිතිකරුවන් අවසන් පන්දුවාර 5 තුල ලකුණු 56ක් ලබා ගනිමින් ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට අභියෝගයක් ලබා දෙන ලදි.

නැවත වතාවක් පන්දුවෙන් සාර්ථක වූ ඇඩම් සැම්පා ලකුණු 51කට කඩුලු 3ක් දවා ගන්නා විට, මිචෙල් ස්ටාර්ක් ලකුණු 74කට කඩුලු 3ක් තමන් සතු කරගත්තේය.

  • එංගලන්තය – 302/7 (50): ජොනී බෙයාර්ස්ටෝව් 112, සෑම් බිලින්ග්ස් 57, ක්‍රිස් වෝක්ස් 53*, ඇඩම් සැම්පා 3/51, මිචෙල් ස්ටාර්ක් 3/74.
  • ඕස්ට්‍රේලියාව – 305/7 (49.2): ග්ලෙන් මැක්ස්වෙල් 108, ඇලෙක්ස් කේරි 106, ඩේවිඩ් වෝනර් 24, ක්‍රිස් වෝක්ස් 2/46, ජෝ රූට් 2/46.
  • තරගයේ සහ තරගාවලියේ වීරයා – ග්ලෙන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<