යුවරාජ් සිං නැවතත් ක්‍රිකට් පිටියට

426

ඉන්දීය හිටපු සුපිරි පිතිකරු යුවරාජ් පසුගිය වසරේ ජුනි මාසයේ දී සියලුම ආකාරයේ ක්‍රිකට් තරග රටාවන් සඳහා සමුදීමට තීරණය කළේය. නමුත් ඔහු ඉන්දීය දේශීය පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තුල පංජාබ් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් සූදානමින් සිටින බව වාර්තා වේ.

වමතින් පිතිකරණයේ නිරත වන යුවරාජ් සිං ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන අතර ඔහු ඒ සඳහා අවසර ලබා ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි මහතා වෙත ලිපියක් ද යොමු කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

යුවරාජ් සිං 2000 වසරේ දී කෙන්යාවට එරෙහිව පැවති තරගයක දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමි කර ගත් අතර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ඔහු එක්දින තරග 304කට, ටෙස්ට් තරග 40කට සහ විස්සයි විස්ස තරග 58කට ක්‍රීඩා කර තිබුණි.

2011 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ යුවරාජ් සිං 2007 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පන්දු 6ක් තුල හයේ පහර 6ක් එල්ල කරමින් නව ලෝක වාර්තාවක් ද පිහිටවනු ලැබීය.

“මම ආසයි තරුණ ක්‍රීඩකයින් සමඟ කාලය ගත කරන්න, ඒ වගේම මගේ ළඟ තියෙන අත්දැකීම් සහ දැනුම ඔවුන්ට ලබා දෙන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒ අතරතුර මට ක්‍රීඩා කරන්නත් හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉදිරියේ දී අපේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ක්‍රීඩකයින්ටත් ඒක ලොකු අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. මම දැනටත් මගේ ශාරීරික යෝග්‍යතාවය ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. හැබැයි මම ළඟක දී නම් පිත්තක් බෝලයක් අල්ලලා නැහැ, ඒත් මට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා” යැයි ඔහු නැවත ක්‍රිකට් පිටියට පැමිණීම ගැන අදහස් දක්වමින් Cricbuzz වෙබ් අඩවිය වෙත පවසා තිබේ.

එසේම 2000 වසරේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා ඉන්දීය කණ්ඩායම රැගෙන යෑමට යුවරාජ් විශාල මෙහෙයක් කළේ එම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ දී අර්ධ ශතකයක් ලබා ගනිමිනුයි. අවසානයේ එම තරගාවලියේ වීරයා බවට පත්වූයේ ද යුවරාජ් සිං ය.

ඉන්දියාව ජය ගත් වයස අවුරුදු 19න් පහළ (2000), විස්සයි විස්ස (2007) හා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි (2011) 3 දී ම පිළිමළුන් පිටුදැකීමේ තරග වටවල දී ලකුණු 50ට වඩා වාර්තා කර ගත් ලොව එකම ක්‍රිකට් තරුව වන්නේ ද ඔහුයි.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<