රූමි රාජකීය පාපන්දුව අතට ගනී

734
Roomy signs with Royal

රාජකීය විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් රූමි ගිවිසුම් ගතවී ඇත. ඒ අනුව එම ගිවිසුම මෙම මාසයේ සිට ඉදිරි වසර 2ක කාලයක් සඳහා වලංගු වන අතර එහි දී ඔහුට සිදුකෙරෙන මාසික ගෙවීම් පිළිබඳව විස්තර අනාවරණය කර නොමැත.

මොහොමඩ් රූමි රාජකීය විද්‍යාලයට?

මරදාන සහිරා විද්‍යාලයේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු මොහොමඩ් රූමි කොළඹ රාජකීය විද්‍යාලයේ..

ක්‍රිකට් සහ රග්බි වැනි ක්‍රීඩාවන්ට ප්‍රචලිතව සිටි සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය වැනි පාසල් මෑත කාලයේ දී පාපන්දු ක්‍රීඩාවෙන් දැඩි ප්‍රගතියක් පෙන්නුම් කරන්නට සමත් වූ අතර ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම පුහුණුකාර වරයා සිය ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත්කිරීමෙන් කොළඹ රාජකීය විද්‍යාලය ද පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට සූදානමෙන් සිටින බව පසක් කර ඇත.

සහිරා විද්‍යාලය තුළ පාපන්දු ක්‍රීඩාවට දක්වන සැලකිල්ල පිළිබඳව රූමි අසතුටින් පසුවීම නිසා ඔහු රාජකීය විද්‍යාලයේ පුහුණුකාරීත්වය බාරගැනීමට සිටීම පිළිබඳ පුවත මෙම වසර ආරම්භයේ දීම ඔබ වෙතට ගෙන එන්නට ThePapare.com අපි සමත් වූවෙමු.

“රාජකීය විද්‍යාලයේ ප්‍රධාන පාපන්දු පුහුණුකාර වරයා ලෙස වැඩ බාරගන්න ලැබීම ලොකු සතුටක්. රාජකීය විද්‍යාලය කියන්නේ විශිෂ්ට පාසැලක්. ඔවුන් පාපන්දු ක්‍රීඩාවට එතරම් ප්‍රසිද්ධ නොවුණත් ඉතා දක්‍ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම බිහිකරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. නවීන් ජූඩ් ඒ අතරින් කෙනෙක්. ඔහු ලීග් තරගාවලියේ පසුගිය තරග වාර දෙකේදීම ඉතා ඉහළ දස්කම් දක්වන්න සමත් වුණා.” ThePapare.com සමඟ අදහස් දක්වමින් රූමි පැවසීය.

2015 වසරේ දී වයස අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ අවසන් තරගයේ දී කින්නියා අල් අක්සා විද්‍යාලය පරාජය කර එහි ශූරතාවය දිනා ගැනීමත් සමඟ කොළඹ රාජකීය විද්‍යාලය එහි පළමු කාණ්ඩයේ තරගාවලිය කරා උසස් වීමක් ලබාගැනීමට සමත් විය. කෙසේ නමුත් පළමු කාණ්ඩය තුළ ඉහළ දස්කම් දැක්වීමට ඔවුන් මෙතෙක් අසමත්ව ඇති අතර පැවති තරග වාර 2 තුළ පිළිමළුන් පිටු දැකීමේ වටය කරා සුදුසුකම් ලබා ගන්නට ඔවුන් අසමත් වූවා මෙන්ම 2017 තරග වාරයේ දී ඔවුන් ඊළඟ කාණ්ඩය කරා පහත වැටීමට ඉතා ආසන්නයට ද ගියේය.

මොහොමඩ් රූමි සහිරා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට පෙර 2017 තරග වාරයේ දී ඔවුන්ව පිළිමළුන් පිටු දැකීමේ තරග වටය කරා රැගෙන යාමට සමත් විය. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන් මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පරාජයට පත්කිරීමට සමත් වුවත් ඉන් අනතුරුව පැවති අවසන් පූර්ව වටයේ දී එහි ශූරයින් වූ සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ මෙන්ම 3 වන ස්ථානය සඳහා පැවති තරගයේ දී සාන්ත පීතර විද්‍යාලය හමුවේ ද ඔවුන් පරාජයට පත්විය.

“මම හැමවෙලේම අභියෝගයක් සඳහා සූදානමෙන් ඉන්නේ. ඉතින් රාජකීය විද්‍යාලය මට මගේ ඊළඟ අභියෝගය ලබාදුන්නා. ඒ අනුව කණිෂ්ට මෙන්ම ජ්‍යෙෂ්ට කණ්ඩායම් එක්ක මට මුල ඉඳන් වට පටන් ගන්න වෙනවා. මගේ අවශ්‍යතා ලැයිස්තුවේ මුලින්ම තියෙන්නේ විනය. මොකද ක්‍රීඩකයෙක් සතුව විනය තියෙනවා නම් හරි ඔහුට විනය උගන්නන්න පුළුවන් නම් හරි අනෙක් සෑම කුසලතාවයක්ම ඔවුන්ට පහසුවෙන් ලබාගන්න පුළුවන්.” වැඩිදුරටත් අදහස් දක්වමින් රූමි පැවසීය.

18න් පහළ පාපන්දු ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් ජෝසප්වරුන්ට

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අද (30) කොළඹ තුරග..

රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා නිකුත් කළ ප්‍රකාශයක ඔහු සඳහන් කර තිබුණේ විද්‍යාලය ඉහළ විනයක් සහිත හොඳ පාපන්දු කණ්ඩායමක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව හා පාපන්දු ක්‍රීඩාවේ තත්වය වැඩිදියුණු කර අනෙක් ඇයට ද ආදර්ශයක් වීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා බාර මොහොමඩ් රියාස් මහතා ප්‍රකාශ කර සිටියේ රූමිගේ ආගමනය විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාව ඊළඟ තලයට රැගෙන යාමට ඉවහල් වනු ඇති බව හා ඔහුට ඇති අත්දැකීම් සහ ඔහු ක්‍රීඩාවට දක්වන ළැදියාව හමුවේ කණ්ඩායමට ද වටිනාකමක් එක්වනු ඇති බවයි.

රූමි 2010 වසරේ දී සහිරා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කළ අතර එතැන් පටන් ඔහු ශූරතා ගණනාවක් කරා විද්‍යාලයීය කණ්ඩායම් මෙහෙය වන්නට සමත්ව ඇත. 2014 සහ 2016 වසර වල කොත්මලේ චොක්ස් වයස අවුරුදු 19න් පහළ පාපන්දු ශූරතාවලියේ ශූරතාවය, 2011, 2012, 2014 සහ 2015 වසරවල දී සමස්ත ලංකා පාසල් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ පාපන්දු ශූරතාවය, වයස අවුරුදු 19න් පහළ පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාවය එම ජයග්‍රහණ අතරට ඇතුළත් වේ. එමෙන්ම තවදුරටත්, ඔහුගේ ගුරුහරුකම් ජාතික තලයේ මෙන්ම ක්‍රීඩා සමාජ තලයේ ද ඉතා දක්‍ෂ පාපන්දු ක්‍රීඩකයින් බිහිකරන්නට ඉවහල් වී ඇත.  

පාසල් රග්බි පිටිය හැරුණු කොට ඔහු කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් ඔවුන්ව අඛණ්ඩව වසර 3ක් ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය සහ 2015 වසරේ දී FA කුසලානය කරා මෙහෙය වන්නට සමත් විය.  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<