වසර 9කට පසුව ඕස්ට්‍රේලියාව නැවතත් එක්දින ලෝක ශූරියන් වෙයි

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

850
Australia lift seventh World Cup

12 වැනි ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එංගලන්තය ලකුණු 71කින් පරාජයට පත් කළ ඕස්ට්‍රේලියාව 7 වැනි වරටත් කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට අද (3) සමත් වුනා.

නවසීලන්තයේ Christchurch ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවතී මේ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායිකා Heather Knight පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. එංගලන්තය මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ අවසන් ලෝක කුසලාන තරගාවලියේ (2017) ශූරතාවය දිනා ගත් කණ්ඩායම ලෙසයි.

අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව මේ තීරණාත්මක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එංගලන්ත ඇරයුමින් පිටියට පිවිසුණු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 356ක් ලබා ගැනීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකාරිණියක් වන Alyssa Healy පන්දු 138කින් වේගවත් ලකුණු 170ක් වාර්තා කිරීම කැපී පෙනුණු අතර ඇයගේ එම සුපිරි ඉනිමට හතරේ පහරවල් 26ක් ඇතුළත් වුනා.

Healy විසින් වාර්තා කළ එම ලකුණු 170 ඉතිහාසයට එක් වුනේ කාන්තා හෝ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක දී දැනට වාර්තා වී තිබෙන ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 149ක් වාර්තා කළ ඕස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරු Adam Gilchrist.

Healy සමඟ එක්වුණු Rachael Haynes 68 (93) පළමු කඩුල්ල සඳහා ලකුණු 160ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ඕස්ට්‍රේලියානු ලකුණු සටහනට සාර්ථක ආරම්භයක ලබා දුන්නා. Beth Mooney ද පන්දු 47ක් තුල 4 පහර 8ක් සමඟ ලකුණු 62ක් ලබාගෙන Healy සමඟ එක්ව ඕස්ට්‍රේලියානු මැදපෙළ සවිමත් කළා. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන Anya Shrubsole ලකුණු 46කට කඩුලු 3ක් දවා ගන්නා විට, Sophie Ecclestone එක් කඩුල්ලක් දවා ගත්තා.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයක වාර්තා වුනු වැඩිම ලකුණු ප්‍රමාණය සහ එංගලන්ත කාන්තා ක්‍රීඩිකාවන්ට එරෙහිව කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්තයට පන්දුවාර 43කුත් පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 285ක් පමණයි.

එක් 6 පහරක් සහ 4 පහර 15ක් එල්ල කල එංගලන්ත ක්‍රීඩිකා Nat Sciver පන්දු 121කින් නොදැවී ලකුණු 148*ක් රැස් කරමින් හුදෙකලා සටනක නිරත වුනා.

කෙසේ වෙතත් සෙසු පිතිකාරිණියන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු නිසා එංගලන්තයට මෙවර ලෝක ශූරියන් වීමේ අවස්ථාව අහිමි වී ගියා. පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Alana King හා Jess Jonassen කඩුලු 3 බැගින් බිඳ හෙළුවා.

ලකුණු සාරාංශය,

ඕස්ට්‍රේලියාව – 356/5 (50): Alyssa Healy 170, Rachael Haynes 68, Beth Mooney 62, Anya Shrubsole 3/46.

එංගලන්තය – 285 (43.4): Nat Sciver 148*, Tammy Beaumont 27, Jess Jonassen 3/57, Alana King 3/64.

Healy අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශතකයක් (129) වාර්තා කිරීමට සමත් වුනු අතර, මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඇය ඉනිම් 9ක් තුළ වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 509ක්.

එය වාර්තා අතරට එක්ව ඇත්තේ මෙතෙක් පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලියක දී ක්‍රීඩිකාවක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඒ නිසාවෙන් මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ වීරවරිය සඳහා පිදෙන සම්මානය දිනාගත් Alyssa Healy තරගාවලියේ වීරවරිය ලෙසද සම්මාන දිනාගත්තා.

  • තරගයේ සහ තරගාවලියේ වීරවරිය – Alyssa Healy (ඕස්ට්‍රේලියාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<