ක්‍රීඩකයින් හිතුමතේ IPL හැර යාම නවත්වන්න නීති හදයි

2381
BCCI mulling deterrents for player pull outs in IPL
@CricketAddictor

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ක්‍රීඩකයින් හදිසියේ ඉවත් වීම වැළැක්වීම සඳහා නීති රීති මාලාවක් හඳුන්වා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ කණ්ඩායම් කිහිපයක් විසින් සිදු කළ පැමිණිලි සැලකිල්ලට ගෙනයි.

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී සුළු මුදලකට අලෙවි වූ ක්‍රීඩකයින් කණ්ඩායම් හැර යාමේ ප්‍රවණතාවයක් IPL තරගාවලි සංවිධායකයින් විසින් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ පිළිබඳව IPL තරග සංවිධායකයින්ගේ කවුන්සිල රැස්වීමේ දී ද සාකච්ඡා කර තිබෙනවා.

“තරගාවලියේ වැදගත්ම කොටස්කරුවෙක් වන කණ්ඩායම්වලට IPL තරග සංවිධායකයින්ගේ කවුන්සිලය වගකිව යුතුයි. ඔවුන් ක්‍රීඩකයෙක්ට ලංසු තබන්නේ ගොඩක් සැලසුම් කරලා. දුර්වල හේතු නිසා ක්‍රීඩකයෙක් තරගාවලියෙන් ඉවත් වුනොත් ඔවුන්ගේ සැලසුම් අවුල් වෙනවා”, යැයි IPL තරග සංවිධායක කවුන්සිලයේ සාමාජිකයෙකු Cricbuzz වෙත සඳහන් කර තිබුණා.

දුර්වල හේතු මොනවා ද යන්න තවමත් නියත වශයෙන් සඳහන් කර නැතත්, ක්‍රීඩකයින් තරගාවලිය හැර යාම වැළැක්වීම සඳහා එවැනි ක්‍රීඩකයින් ලැයිස්තුවකට ඇතුළත් කිරීමට හැකියාවක් පවතිනවා.

“IPL තරගාවලිය හැර ගිය සෑම දෙනෙක්ම යළිත් වසර කිහිපයක් යනතුරු තරගාවලියට සහභාගී කරගන්නේ නැහැ කියලා එකක් නැහැ. එක් එක් ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට කරුණු සලකා බලලා තමයි යම් පියවරක් ගන්නේ. සාධාරණ හේතුවක් ද කියලා අපි සලකලා බලනවා.”

ආබාධ හෝ ජාත්‍යන්තර තරගවලට සහභාගී වීම සාධාරණ හේතු ලෙස සලකන නමුත්, මෑත කාලයේ දී වෙනත් හේතු නිසාත් ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. සිය පවුල සමඟ කාලය ගත කළ යුතු බව පවසමින් Jason Roy තරගාවලියෙන් ඉවත් වුනා.

“මට හිතුණා මම මගේ පවුල සමඟ කාලය ගත කරොත් හොඳයි කියලා. මම මගේ පවුල සමඟ සහ මගේ ක්‍රීඩාව දියුණු කරගන්නට මීළඟ මාස දෙක යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා”, යැයි Gujarat Titans කණ්ඩායමෙන් ඉවත් වෙන්නට පෙර Roy පවසා තිබුණා.

ඔහුව ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට මිල දී ගෙන තිබුණා. Kolkata Knight Riders ඉන්දීය රුපියල් කෝටි 1.5කට මිල දී ගත් Hales ජෛව ආරක්‍ෂිත බුබුළු තුළ රැඳී සිටින්නට නොහැකි බව පවසමින් කණ්ඩායමෙන් ඉවත්ව තිබුණා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<