කණකොකා හැඬූ T20 පිටිය අදත් හිස්

SLC Major Club T20 Tournament 2022

538

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 11 වැනි දිනය වූ අද (01) දවසේ දී ද පැවැත්වීමට නියමිතව තිබූ සියලුම තරග පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වුනා.

ඒ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සහ ඒ නිසා ම නිසි ලෙස පිළිසකර කර ගැනීමට නොහැකි වූ ක්‍රීඩාංගණ හේතුවෙන්.

මේ වන විට තරගාවලියේ B සහ C කාණ්ඩවල තරග අවසන් ව ඇති අතර ඒ අනුව BRC සහ Police SC කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා. අද දවසේ දී A සහ D කාණ්ඩවල තරග පැවැත්වීමට නියමිත ව තිබුණා.

හෙට (02) තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය ක්‍රියාත්මක වීමට නියමිත අතර උදා වූ තත්ත්වය මත හෙට දවසේ දී ප්‍රසාද ලකුණු පුවරුව උණුසුම් වුනා.

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව SSC කණ්ඩායම තම සියලුම තරගවලට සහභාගී වෙමින් පළමු ස්ථානයට පත් ව සිටින්නේ ප්‍රසාද ලකුණු 7ක් සහ ලකුණු ලබා ගැනීමේ වේගය 1.537ක පවත්වා ගනිමින්.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට Saracens SC පත්ව සිටින අතර ඔවුන් ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටිනවා. ඔවුන්ට හෙට දවසේ දී  ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානයට පත් ව සිටින CCC හා තරගය පැවැත්වෙන අතර ඉන් ඔවුන් ජය ලබා ගන්නේ නම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

D කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අතරින් Moors SC ප්‍රසාද ලකුණු 9ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ පසු වෙන අතර දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 7ක් ලබා සිටින Sri Lanka Army SC පසු වෙනවා.

එම කණ්ඩායම් දෙක ම මේ වන විට තරග 5 බැගින් සහභාගී වී හෙට අවසන් තරගයට සහභාගී වෙනවා. එම කණ්ඩායම් දෙක හෙට කොළඹ P. Sara Oval පිටියේ දී තරග වදින අතර ඉන් ජයග්‍රහණය ලබන කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

අද පැවැත්වීමට නියමිතව තිබූ තරග

  • Kurunegala Youth CC සහ Sri Lanka Navy SC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)
  • Saracens SC සහ Baduraliya SC අතර තරගය (NCC ක්‍රීඩා පිටියේ දී)
  • CCC සහ Ace Capital CC අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී)
  • Sri Lanka Army SC සහ Kalutara Town Club අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)
  • SSC සහ Lankan CC අතර තරගය (NCC ක්‍රීඩා පිටියේ දී)
  • Moors SC සහ Bloomfield C & AC අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී)

තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය හෙට (ජුනි 02) ක්‍රියාත්මක වීමට නියමිතයි. වර්ෂාව මධ්‍යයේ වූව ද දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ අලුත් ම තතු විත්ති දැන ගන්න රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<