අතපත්තුගේ ඉනිම නිසා Supernovas අවසන් තරගයට

කාන්තා අභියෝගතා කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020

230

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට (IPL) සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ (Women’s T20 Challenge) ඊයේ (7) පැවති Supernovas සහ Trailblazers අතර තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ලබා ගැනීමට Supernovas කණ්ඩායම සමත් විය.

එහි දී තරගයේ වීරයා වෙමින් පන්දු 48ක දී ලකුණු 67ක් ලබා ගත් චමරි අතපත්තු Supernovas කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන තරග වදිනු ලබන Supernovas කණ්ඩායම මේ තරගයට අවතීර්ණ වූයේ පළමු තරගය පරාජයට පත්වෙමිනි. ඒ නිසාවෙන් Supernovas කණ්ඩායමට අවසන් මහා තරගයට යාමට හෝ ඒ ගැන යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට නම් මෙම තරගය ජය ගැනීම අනිවාර්ය විය.

සාජා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් Supernovas නායිකා Harmanpreet Kaur පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළා. එහි දී ඔවුන්ගේ කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙස ක්‍රීඩා කළ වමතින් පිතිකරණයේ නිරත වන අතපත්තු දක්ෂ පිතිකරණයක නිරත වෙමින් සාර්ථක ලකුණු පුවරුවක් වෙත යාමට අවශ්‍ය අඩිතාලම සකස් කර දෙන ලදි. අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබා ගන්නා ලදි.

තවත් ක්‍රිකට් පුවත්:

 

 

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා සහ තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා වන අතපත්තු මනරම් 4 පහර 5ක් සහ දැවැන්ත 6 පහර 4ක් එල්ල කරමින් අර්ධ ශතකය ලබා ගත් අතර පන්දු 48කට මුහුණ දුන් ඇය ලකුණු 67ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට Harleen Deol සමත් විය.

ඊට අමතරව නායිකා Kaur සහ Priya Punia පිළිවෙළින් ලකුණු 31ක් සහ ලකුණු 30ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. පන්දු යැවීමේ දී Jhulan Goswami ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගනිමින් Trailblazers වෙනුවෙන් වැඩි දස්කම් දක්වන විට, Rajeshwari Gayakwad සහ Salma Khatun එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 147ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Trailblazers ආරම්භක පිතිකරිනියන් දෙදෙනා වූ Deandra Dottin සහ නායිකා Smriti Mandhana පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක් තුල ලකුණු 44ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙන ලදි.

ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 27ක් සහ ලකුණු 33ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ නමුත් ඔවුන් දෙදෙනාට වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි විය. නමුත් තරගය අවසානය දක්වා රැගෙන යාම සඳහා ඔවුන් සතුව ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණයක් ඉතිරි නොවූයේ Radha Yadav සහ Shakera Selman ඇතුළු Supernovas පන්දු යවන්නන් Supernovas වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිසයි.

අවසානයේ ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දුවාරයට ලකුණු 10ක් ලබා ගැනීමට නියමිතව තිබූ නමුත් Radha Yadav අවසන් පන්දුවාරය තුල ලකුණු 7ක් පමණක් ලබා දුන්නේ කඩුල්ලක් ද දවා ගනිමිනි. Trailblazers ඉනිමේ මැදපෙළ සවිමත් කරමින් තරගයේ ජය වෙත රැගෙන යාම සඳහා විශාල වෙහෙසක් දැරූ Deepti Sharma 4 පහර 5ක් එල්ල කරමින් පන්දු 40ක දී නොදැවී ලකුණු 43*ක් ලබා ගන්නා ලදි.

එසේම අවසන් පන්දුවාර කිහිපය තුල ප්‍රහාරාත්මක ලෙසින් පන්දුවට පහර දෙමින් පන්දු 15ක් තුල ලකුණු 27ක් ලබා ගත් Harleen Deol අවසන් පන්දුවාරයේ දී දැවී යාම ද ඔවුන්ගේ පරාජය සඳහා හේතු සාධක විය.

ශෂිකලා සිරිවර්ධන හට මේ තරගයේ දී පිතිකරණයෙන් වැඩි දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ නමුත්  පන්දු යැවීමේ දී සිය පන්දුවාර තුන ලකුණු 19කට සීමා කරන ලදි.

Supernovas – 146/6 (20): චමරි අතපත්තු 67, Harmanpreet Kaur 31, Priya Punia 30, Jhulan Goswami 1/17.

Trailblazers – 144/5 (20): Deepti Sharma 43*, Smriti Mandhana 33, Radha Yadav 2/30, Shakera Selman 2/31.

තරගයේ වීරයා – චමරි අතපත්තු (Supernovas)

තරගාවලියේ මූලික වටයේ තරග තුන අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනා ගත් Trailblazers සහ Supernovas අතර පැවැත්වෙන තීරණාත්මක අවසන් මහා තරගය හෙට (9) සාජා ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<