ලැජ්ජා සහගත වාර්තා සමඟින් අනුශූරතාවයෙන් අහවර වූ ආසියානු කුසාලනය

Asian Cup 2023

712

ආසියානු කුසලාන එක්දින තරගයක වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව සහ ඉන්දීය කණ්ඩායමකට එරෙහිව වාර්තා කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව යන ත්‍රිත්ව වාර්තා තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2023 ආසියානු එක්දින කුසලානය ඉහළින්ම පරාජය වුනා. 

ඒ අනුව ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ ජයග්‍රාහකයන් අතර තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වූනා. ඔවුන් 1984, 1988, 1990/91, 1995, 2010, 2018 සහ 2023 යන වසර 7 දී කුසලානය දිනා ගත් අතර ඉන් අවස්ථා 5ක දී ම පරාජයට පත් කරන්නේ ශ්‍රී ලංකාවයි. ඒ 1988, 1990/91, 1995, 2010 සහ 2023 වසරවලයි.

මේ වෙද්දී ශ්‍රී ලංකාව ද ආසියානු එක්දින කුසලානය අවස්ථා 5ක් දී දිනා තිබෙනවා. ඒ 1986, 1997, 2004, 2008 සහ 2014 වසරවල දීයි. ඊට අමතර ව පාකිස්තාන 2000 සහ 2012 වසර ද්විත්වයේ දී ආසියානු එක්දින කුසලානයට හිමිකම් කියනවා.

ශ්‍රී ලංකාවට අවාසනාව කැන්ඳු මෙම තරගයට පෙර, එතෙක් ආසියානු එක්දින කුසලානයක අඩුම ලකුණු වාර්තා කළ කණ්ඩායම බවට පත් ව සිටියේ බංග්ලාදේශයයි. ඔවුන් 2000 වසරේ දී පාකිස්තානය හා සමඟ තරගයේ දී ලකුණු 87කට දැවී යමින් මෙම වාර්තාවේ එල්ලී සිටියා.

එමෙන් ම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද එතෙක් අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම ලෙසින් වාර්තා පොත් අතරට එක් ව සිටියේ නෙදර්ලන්තයයි. ඔවුන් 2002 වසරේ දී ICC ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 86කට දැවී යමින් එහි රැඳී සිටියා.

මීට පෙර 2003 වසරේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 73කට දැවී ගොස් සිටි ශ්‍රී ලංකාව මෙම තරගයත් සමඟින් වසර 20කට පසුව එම වාර්තාව ද අලුත් කළා.

මේ සියලු දේවල් අවසන් මහා තරගයක දී සිදුවීමයි, මහත් අවාසනාව වන්නේ. මෑත කාලීනව අඛණ්ඩව තරග 13ක් ජයග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර අමන්දා නන්දයක් ඇති කරගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ තරමින් දුර්වල වේ යැයි කිසිවෙකුත් සිතුන්නට නැතිව ඇති.

යම් යම් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයන් තිබුණ ද, කණ්ඩායමක් ලෙසින් වැඩි පිළිගැනීමක් මෙරට පමණක් නොව ක්‍රිකට් දන්නා බොහෝ රටවල්වලින් ද අප කණ්ඩායමට ලැබුණා. එබැවිනුයි, ඇතැම් තැනක දෙතැනක කියැවුණේ ශ්‍රී ලංකාව යනු විශ්වාස කළ නොහැකි දක්ෂතාවන්වලින් පරිපූර්ණ, කුමන මොහොතක තරගයක  පාලනය සියතට ගන්නා කණ්ඩායමක් ද යන්න කිව නොහැකි බවයි.

නමුත් එවැනි කණ්ඩායමකින් මේ සා පරාජයක්, බලාපොරොත්තු විය හැකි ද?

අනෙක් අතට අපේ ක්‍රීඩකයෝ මෙම තරගයට එක් වෙන්නේ අපේ රටේ සුපුරුදු තණතිලි මත මෙන් ම වඩාත් වාසි සහගත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද.

එබැවින් නැවත වතාවක් අප ප්‍රශ්න කළ යුත්තේ එවන් තත්ත්වයක් යටතේ ද මේ සා පරාජයක්, කෙලෙස සිදු වී ද යන්නයි.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අප තරගයෙන් තරගයට පැවසුවේ ඉදිරිපෙළ පිතිකරුවන්ගේ ස්ථාවර පිබිදීමක් ඇති විය යුතු බවයි. නමුත් එය එසේ වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් කණ්ඩායමේ කටයුතු කළේ එදිනට පමණක් තමන්ගේ “රාජකාරිය” ඉටු කරනු ලබන සේවකයන් පිරිසක් ලෙසිනුයි.

ඒ අතරින් යම් තරමක් හෝ මේ ගමන් මාර්ගයෙන් බැහැර ව ගමන් කිරීමේ ගෞරවය ඉදිරිපෙළ පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස්ට, සධීර සමරවික්‍රමට සහ චරිත් අසලංකට හිමි විය යුතුයි.

ඔවුන් අතරින් කුසල් මෙන්ඩිස් ඇෆ්ගනිස්තානයට, බංග්ලාදේශයට සහ පාකිස්තානයට එරෙහිව ලබා ගත් අර්ධ ශතක 3ක් ද සමඟින් තරග 6ක දී ලකුණු 270ක් ලබා ගන්නා ලද අතර එහි සාමාන්‍ය 45.00ක් ලෙසින් ද පවත්වා ගැනීමටත් ඔහු සමත් වෙනවා.

ශ්‍රී ලංකාව අසාර්ථක වූ අවසන් මහා තරගයේ දී ද කුසල් පන්දු 34කට මුහුණ දෙමින් ලකුණු 17ක් ලබා ගන්නවා. එය  ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පන්දු ප්‍රමාණයෙන් සේ ම ලකුණු ප්‍රමාණයෙන් ද 1/3ක කෝටාවක්. ඒ අනුව පිතිකරුවෙක් ලෙසින් තමන් විසින් කළ කී දේ ගැන කුසල්ට යම් හෝ සැනසීමක් තිබෙනවා.

තරගාවලියේ ලකුණු අතරට පිවිසිය ද, සධීර සමරවික්‍රමට සහ චරිත් අසලංකට එවැනි සැනසීමක් ලබා ගැනීමට අවසන් තරගය ඉඩ හසර ලබා දුන්නේ නැහැ.

සධීර බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කරන ලද තරග 2 දී ම අර්ධ ශතක වාර්තා කරන ලද අතර තරගාවලියේ තරග 6 දී ලකුණු 215ක් ලබා ගන්නවා. එය මෙරට පිතිකරුවන් අතර කුසල්ට දෙවැනි වූ ලකුණු එකතුවයි.

චරිත් තමන් මුහුණ දුන් ඉනිම් 6 දී බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතකයක් සහ පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද ජයග්‍රාහී අතිවිශිෂ්ට නොදැවුණ ඉනිමත් සමඟින් ලකුණු 179ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 44.75ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වීම කැපී පෙනෙනවා.

නමුත් ඔවුන් දෙදෙනා ම අවසන් මහා තරගයේ දී පෑ දුර්වලතා ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි. එබැවින් ම කණ්ඩායමකට පැවැත්මට, පෙර තරගවල දක්ෂතා ම පමණක් ප්‍රමාණවත් නොවන බව සධීර සේ ම චරිත් ද වටහා ගත යුතුයි. එය අවසන් මහා තරගයක කිසිසේත් ම නොවිය යුතුයි. එය එසේ වන්නේ ඔවුන් මෙම කණ්ඩායම හා එක් වෙන්නේ පිතිකරුවන් ලෙසින් ම වන නිසායි.

තරගාවලියේ ආරම්භයටත් පෙර සිට ම යම් තරමින් ප්‍රශස්ත මට්ටමෙන් කතා කළ හැකි ක්‍රීඩකයන් බවට පත් ව සිටි ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක ද මෙම තරගාවලියේ විශ්වාසයක් නොතබමින් කටයුතු කළ අයුරකුයි දුටුවේ. ඔවුන් අතරින් පැතුම් තරග 6 දී ලකුණු 132ක් ලබා ගත්ත ද, එය ආරම්භක පිතිකරුවෙක් ලෙසින් ප්‍රමාණවත් නොවන තරමේ දක්ෂතාවක් ලෙසයි වර්ග කළ හැක්කේ.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය කෙරුණ ධනංජය නිමා වූ තරග 6ක දී ලබා ගන්නා ලද්දේ ලකුණු 72ක් පමණක් වන අතර එහි සාමාන්‍ය ලෙසින් දැක්වුණේ 12.00ක්. මේ අතරින් යම් තරමකින් හෝ කතා කළ හැකි ඉනිමක් තිබුණේ ඉන්දියාව හා සමඟ පැවති තරගයයි.

නමුත් එම තරගයේ දී ද තරගයක තත්ත්වය අනුව කටයුතු කිරීමේ විශාල අඩුවක් ධනංජය වෙතින් දුටුවා. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රතිවාදීන් හමුවේ ලබන්නට තිබූ ජයග්‍රහණයක් වැළකී යෑමයි.

එම දුර්වලතාවය ම ධනංජයගෙන් සේ ම පැතුම්ගෙන් ද අවසන් මහා තරගයේ දී දුටුවා.

පිතිකරුවන් අතරින් වඩාත් ම අසාර්ථක වූවන් ලෙසින් නායක දසුන් ශානකට සේ ම දිමුත් කරුණාරත්නට ද හිමි වෙන්නේ ඉහළ තැනක්. දසුන් නිමා වූ තරග 6 දී ලබා ගන්නේ ලකුණු 54ක් පමණක් වන අතර දිමුත් තරග 4කට සහභාගී වෙමින් ලබා ගන්නේ ලකුණු 53ක් පමණයි. එය වර්ගීකරණය කළ හැක්කේ “සෑහීමකට පත් විය නොහැකි” යන ලේබලය යටතේයි.

කෙසේ වෙතත් නායකත්වයේ වගකීම් නොවන්නට දසුන්ගේ දුර්වල පිතිකරණය කණ්ඩායමක රැඳී සිටීමට හෝ තරම් නොවන බැව් සටහන් තැබිය යුතු ම වෙනවා. මෙම තරගාවලියේ දී පමණක් නොවේ දසුන් මේ වසර ආරම්භයේ දී ඉන්දියාවට එරෙහිව වාර්තා කරන ලද ශතකයට පසුව, පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි අවසන් ඉනිම් 17 දී ලබා ඇත්තේ ලකුණු 141ක් පමණයි. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 8.81ක් ලෙසයි.

තරග 2කට පමණක් කැඳවුන ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ද තමන්ගෙන් කණ්ඩායමට ඉටු විය යුතු යුතුකම් පැහැර හැරීම සම්බන්ධයෙන් කනගාටු විය යුතුයි. ලැබූ අවස්ථාවේ දී ඔහුගේ තරම කියා පෑ ම කළ යුතු වූවත්, කුසල්ගෙන් එවැන්නක් දකින්නට ලැබෙන්නේ නැහැ. තව දුරටත් ඔහුට කණ්ඩායමේ රැඳී සිටීමට නම් මේ වරදෙන් වහා නිවැරදි විය යුතුයි. විශේෂයෙන් ම තමන් විශ්වාසවන්ත පිතිකරුවෙක් බැව් ඉතා ම ඉක්මනින් ප්‍රදර්ශනය කළ යුතුයි.

පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායම හා එක් වූව ද පිතිකරුවෙක් ලෙසින් විශ්වාසවන්ත ඉනිම් ගොඩ නැගිය හැකි බවට ඔප්පු කළ දුනිත් වෙල්ලාලගේ මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් සොයා ගත් අගනා ම ක්‍රීඩකයා බවට පත්වෙනවා. ඔහු නිමා වූ තරග 6ක ඉනිම් 5ක දී ලකුණු 86ක් ලබා ගන්නා ලද අතර කඩුලු 10ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

අවසන් මහා තරගයේ දී සේ ම ඉන්දියාව සමඟ පෙර පැවති සුපිරි 4 වටයේ තරගයේ දී ද වෙල්ලාලගේ පෑ දක්ෂතා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට ද මහඟු ආදර්ශයක් කර ගත හැකි. ඔහුගේ මේ දක්ෂතා ඉදිරි තරගාවලිවල දී මනාව කළමනාකරණය කරමින් යොදා ගැනීම බලධාරීන්ගේ යුතුකමක් බැව් ද සිහිපත් කරමු.

යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ද තමන් සහභාගී වූ පළමු ආසියානු කුසලාන තරගාවලියේ දී ම පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලාභියා ලෙසින් පෙරමුණ ගනිමින් දැක්වූ දක්ෂතා කැපී පෙනෙනවා. ඔහු තරග 6 දී කඩුලු 11ක් දවා ගනිමින් එම ලැයිස්තුවට එක් වන අතර තරග 5ක දී කඩුලු 8ක් දවා ගනිමින් පෑ දක්ෂතා සම්බන්ධයෙන් මහීෂ් තීක්ෂණට ද ගෞරවය හිමි වෙනවා.

>>WATCH – බලාපොරොත්තු කඩවුණු තරගයක්; ශ්‍රී ලංකාවට වැරදුනේ කොතැනද? – #SLvIND – Asia Cup 2023 – Final Cricketry

ඊට අමතර කසුන් රාජිත සහ ප්‍රමෝද් මදුශාන් ද කඩුලු අතර සිටිමින් කණ්ඩායමට දායකත්වය දක්වද්දී, පිතිකරුවන් ලෙසින් අසාර්ථක භූමිකාවන් රඟ දැක් වූව ද පන්දු යවන්නන් ලෙසින් තරමක දක්ෂතා දැක්වූ චරිත් අසලංක, දසුන් ශානක සහ ධනංජය ද සිල්වා  මේ ලැයිස්තුව ශක්තිමත් කිරීමට එක් වුනා.

සමස්තයක් ලෙසින් තරගාවලියේ දී පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ තම යුතුකම් මනාව ඉටු කිරීම කැපී පෙනුණා. තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 6න් 4ක දී ම ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ දවාලීමට ඔවුන් සමත් වීම කැපී පෙනෙන අතර ඔවුන් සුපිරි කණ්ඩායම් 4 වටයේ දී ඉන්දියාවේ සියලු පිතිකරුවෝ පවා දවාලූවා.

නමුත් පෙර කී පරිදි ම පිතිකරුවන්ගේ දුර්වලතා තරගාවලියේ ජයග්‍රහණය කළ නොකළ සෑම තරගයක දී ම දුටුවා. එබැවිනුයි අප තරගයෙන් තරගයට පැවසුවේ ඉදිරි පෙළ පිතිකරුවන්ගේ නොසිඳෙන දක්ෂතාවක් දිගින් දිගට ම පවත්වා ගෙන යා යුතු බැව්. අවසානයේ ඒ කීම ම සනාථ කරමින් ශ්‍රී ලංකා පිතිකරුවෝ ආසියානු කුසලානය ඉන්දියාව වෙත ප්‍රදානය කළා.

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තරග තොරතුරු සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<