2016 දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය (SABA 2016) පසුගියදා ඉන්දියාවේ බැංගලෝර් හීදී ආරම්භ විය. නමුත් පුදුමයට කරුණ වන්නේ පසුගිය වසරේ SABA අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමයි.

ජාත්‍යන්තර පැසිපන්දු සංගමය සංවිධාන කරන 2016 ආසියානු ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව වන්නේද, SABA 2016 තරගාවලියයි. එමෙන්ම 2017 වසරේ පළමු වරට පැවැත්වෙන ආසියා පැසිෆික් කලාපයේ (Asia & Oceania) රටවල් අතර සංවිධාන කෙරෙන කොන්ටිනෙන්ටල් කුසලාන පැසිපන්දු තරගාවලියේ මූලික තේරීම් තරගය වන්නේද SABA 2016 තරගාවලියයි.

මෙවන් වැදගත් තරගාවලියක් මගහැරීමට ශ්‍රී ලංකාව තීරණය කළේ ඇයි? ThePapare.com ඒ පිළිබඳව ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ ලේකම් තක්‍ෂිල හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීය.

”අපිට මේ තරගාවලිය ගැන දැනගන්නට ලැබුනේ එය ආරම්භ වීමට සති 2කට කලින්. ඉතින් ඒ කාලය හොඳටම මදි අපිට කණ්ඩායමක් තෝරා ගන්න. තරගාවලියකට සූදානම් වෙන්න අපිට මාස එකහාමාරක් වගේ අවශ්‍යයි. ඉතින් කාලය මදි නිසා අපි ඒ තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කළා.”

ලේකම් වරයාගේ මේ ප්‍රකාශය මෙරට පැසිපන්දුව කළක පටන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් අනාවරණ කිරීමට සමත් විය. එනම් ජාතික සංචිතයක අවශ්‍යතාවයි. ඕනෑම ක්‍රීඩාවක දියුණුවට ජාතික සංචිතයක අවශ්‍යතාව තදින්ම බලපායි. ක්‍රීඩකයන් පිලිබඳ පරිපාලකයන්ට අවබෝධයක් ලබාගැනීමට, ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් අතර නිරන්තර අදහස් හුවමාරුවට, නිසි ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාමට මෙන්ම හොඳම ක්‍රීඩකයන් අතර නිරන්තර තරගකාරීත්වක් ඇතිවීම තුලින් හොඳම දක්ෂතා ඉස්මතු කර ගැනීම සඳහාද ජාතික සංචිතයක් අතාවශ්‍යයි.

ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ, තරගාවලියකට සහභාගී වීමට අවශ්‍ය අවස්ථා වලදී තෝරා ගැනීමේ පරීක්ෂණයක් පවත්වා එහිදී ඉහල දස්කම් දක්වනු ලබන ක්‍රීඩකයන් තෝරා ගැනීමයි. එබැවින් හදිසියේ ආරාධනා ලැබෙන තරගාවලියකට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අවහිර වෙයි.

කොපමණ කරුණු හුවා දැක්වීම් සිදුකළත් ගැටලුවට විසඳුමක් ඉදිරිපත් වන්නේ නැත. මෙයද කණ්ඩායමක නිවැරදි ක්‍රමය?, තව කොපමණ කලක් මෙවන් ප්‍රාථමික ක්‍රම අනුගමනය කරනවාද?, එමගින් රටේ ක්‍රීඩාවට එල්ලවෙන බලපෑම කොපමණද?

මෙය මෙරට ක්‍රීඩකයන්ගේ දක්ෂතා වල අඩුවක් නිසා පැන නැගුණු ගැටළුවක් නොවේ. දක්ෂතා නොමැතිනම් දකුණු ආසියානු කලාපයේ පැසිපන්දු වර්ගීකරණයේ දෙවැනි කණ්ඩායම වීමට හැකිවේද? නමුත් ගැටලුව ඇත්තේ පැසිපන්දු සංගමයට ඇති ආර්ථික ශක්තිය පිළිබඳවයි. 
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය සැමදා මූල්‍ය ගැටළු මත්තේ පසුතැවෙමින් සිටිය යුතුද? ඔවුන් ජාතික සංචිතයක ගැටලුව නිරාකරණය කර ගන්නට සුළු ආරම්භයක් හෝ ලබාගතයුතු නොවන්නේද? ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් කිහිප දෙනෙක් එක් කරගෙන මූලික සංචිතයක් ගොඩනංවා පියවරෙන් පියවර ඉදිරියට යාම ආරම්භ කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඇතැම්විට මේ ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ දක්ෂතා මත ජාතික සංචිතයට අනුග්‍රාහකයෙක් සොයාගනීමටද හැකිවනු ඇත. අඩුපාඩු පිලිබඳ පසුතැවෙමින් සිටිනවාට වඩා තම වියදම් පියවා ගැනීමට අනුග්‍රාහකයන් සොයා ගැනීම ඕනෑම ක්‍රීඩා සංගමයක ප්‍රධාන වගකීමක්ද වෙයි.

පැසිපන්දු සංගමය සිහි තබාගතයුතු ප්‍රධාන කරුණ වන්නේ මේ ගැටලුවට විසඳුම් සොයන පළමු පියවර කවදා හෝ තැබිය යුතු බවයි. එසේ නොවුනහොත් මෙරටට අහිමි වන එකම තරගාවලිය SABA 2016 පමණක් නොවනු ඇත.

අවසන් වශයෙන් කිව හැක්කේ, පසුගිය දකුණු ආසියානු පැසිපන්දු තරගාවලි තුළදී කාන්තා කණ්ඩායමට ශූරතාවත්, පිරිමි කණ්ඩායමට අනුශූරතාවත් හිමි වුනේ දක්ෂතාවය නිසා මිස වාසනාව පමණක් නිසා නොවේ. එබැවින් ලබන වසරේ මෙරටට පැසිපන්දු ක්‍රීඩාව හඳුන්වාදී වසර 100ක් සපිරීමේ සංවත්සරය පදනම් කරගෙන හෝ ජාතික සංචිතයක් ගොඩනැංවීමට පියවර නොගතහොත්, එය මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කරන අසාධාරණයක් බව පැසිපන්දු සංගමයේ ඉහල පුටු වල වැජඹෙන බලධාරීන් තේරුම් ගත යුතුයි.

වසර 100ක් පුරා පැසිපන්දුව පාලනය කළ බලධාරීන් මූල්‍ය ගැටළු ගැන පසුතැවෙමින් තවදුරටත් එකිනෙකාට චෝදනා කරගනිමින් කල් මරන්නේනම් ඔවුන්ට සිංහල භාෂාවේ එන මේ කියමන අමතක වී ඇතිවා විය හැකියි.

“හිත ඇත්නම් පත කුඩාද?”

පැසිපන්දු බලධාරීනි, නින්දෙන් අවදිවී අනාගතය වෙත එක් පියවරක් හෝ ඔසවන්න.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට