නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ නිවේදනයක්

261

සැප්තැම්බර් මස 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්හට විරෝධතාවයක් නොමැති බවට සහතික (NOC) ලබා දෙන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියි. 

>>2020 IPL තරගාවලියට දින තීන්දුයි<<

ඒ අනුව ජිමී නීෂම් (කිංග්ස් XI පන්ජාබ්), ලොකී ෆර්ගියුසන් (කොල්කටා නයිට් රයිඩර්ස්), මිචෙල් මැක්ලෙනගන් (මුම්බායි ඉන්දියන්ස්), ට්‍රෙන්ට් බෝල්ට් (මුම්බායි ඉන්දියන්ස්), කේන් විලියම්සන් (සන්රයිසස් හයිද්‍රාබාද්) සහ මිචෙල් සැන්ට්නර් (චෙන්නායි සුපර් කිංග්ස්) යන ක්‍රීඩකයින් හට මෙවර IPL ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබේ.  

“අපි මේ ක්‍රීඩකයින් හය දෙනාට IPL තරගාවලියට යන්න ක්‍රිකට් ආයතනය ලෙස අවසර ලබා දෙනවා. නමුත් පැතිර යන නව කොරෝනා වසංගත තත්වය සහ එයට අදාළ සෞඛ්‍ය නීති රීති වලට ඔවුන්ට කටයුතු කරන්න පුළුවන් නම් ඔවුන් ඒ තරගාවලියට ගියාට අපිට ගැටළුවක් නැහැ. හැබැයි ඒ තීරණය අපි ගන්නේ නැහැ. ඔවුන්ටම ඒ තීරණය ගන්න අවස්ථාව දෙනවා.” යැයි නවසීලන්ත ක්‍රිකට් මාධ්‍ය ප්‍රකාශක වන රිචර් බෘක්ස් මහතා පැවසු බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. 

මේ මස මුලදී නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඔවුන්ගේ එළිමහන් පුහුණු කටයුතු ආරම්භ කළේය. 

මීට පෙර 2014 වසරේ දීද ඉන්දීය මහ මැතිවරණ කාල සීමාවක් තුළ IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නිසා එරට ක්‍රිකට් පාලනාධිකාරිය සහ තරග සංවිධායක කමිටුව එක්ව එම IPL තරග විස්ස ඉන්දියාව තුළ නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ පවත්වමින් තරගාවලිය සාර්ථක ලෙස අවසන් කළේය. 

>>“උපන් රටට ක්‍රීඩා කරන්න බැරි වුනු එක ගැන දුකයි” – තාහීර්<<

ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ රටේ COVID-19 අවදානම අවම ප්‍රදේශ කිහිපයක හෝ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණවල තරගාවලිය පවත්වා අවසන් කිරීමට විටෙක සැලසුම් යොදා තිබූ නමුත් මේ වන විට ඉන්දියාව තුළ මේ වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන නිසා එම යෝජනාව ද මේ වන විට ප්‍රතික්ෂේප වෙමින් පවතියි. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද COVID-19 වෛරස ආසාදිතයින් 58,000ක් පමණ වාර්තා වී ඇති අතර ජීවිත හානි 343ක් ද වාර්තා වී තිබේ. ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් ලක්ෂ 12 සීමාව ද ඉක්මවා ගොස් ඇති අතර මරණ 29,000ක් පමණ එරටින් වාර්තා වී තිබේ. 

කණ්ඩායම් ඉන්දියාවෙන් පිටත් වීමේ සැලැස්ම සහ තරගාවලියේ සම්පූර්ණ කාලසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබන සතියේ පැවැත්වෙන IPL පාලක සභා රැස්වීමේ දී සාකච්ඡා කෙරේ.

Hindustan time ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<